මුස්ලිම් ජනතාව මාසයක උපවාසයෙන් පසුව බැතියෙන් සමරන රමසාන් උත්සවය

 

මොහොමඩ්  ආසික්

ඉස්ලාම් ධර්මයේ ප්‍රධාන වගකීම් පහෙන් ප්‍රධානතම වගකීමක් වන මාසයක් උපාවසය සුරැකීමෙන් පසුව එළඹෙන පළමු වන දිනය  ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව  ඊදුල් ෆිත්ර් නම් වන රමසාන් උත්සවය සමරති.

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව සමඟ එක්වී ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවද අද දිනයේ රමසාන් උත්සවය සැමරීම සිදු කරති. ඉස්ලාම් ධර්මය තුල පවතින ප්‍රධානතම වගකීමක් වන පුරා මාසයක් උපවාසය සුරැකීමෙන් පසුව  එළඹෙන දිනය රමසාන් හෙවත් ඊදුල් ෆිත්ර් උත්සව දිනයයි. පුරා මාසයක් නිරාහාරව සිට අල්ලාහ්  දෙවියන් වහන්සේ වෙනුවෙන්  දිවා රෑ නැමදීම් වල නිරත වූ ජනතාව වෙනුවෙන් දෙවියන් විසින් ලබා දුන් තෑග්ගත් ලෙසද මෙම රමසාන් උත්සව දිනය සඳහන් වෙයි. මෙදින  අළුයම අවදිවන සියලු  මුස්ලිම්  බැතිමතුන් දිය නා පිරිසිදුව අලුත්  ඇඳුම් හෝ තමන් සතුව ඇති පිරිසිදු ඇඳුමක්   හැඳ ආගමික වතාවත්වල නියැලීමෙන් රමසාන් උත්සවය සැමරීම සිදු කරති.

ඉස්ලාම් ධර්මය සම්පූර්ණයෙන්ම  රඳා පවතින්නේ ශුද්ධ වූ අල් කුරාණය සහ නබි තුමන්ගේ හදීසයන් තුලයි. ශුද්ධ වූ අල්කුරාණය සඳහන් කරන ආකාරයට ඉස්ලාම් ධර්මය ආරම්භ වන්නේ ලොව පළමුවන මිනිසා වූ ආදම් නබි තුමන්ගෙනි. ස්වර්ගයේ සිට මෙලොවට බිහිවූ  ආදම් තුමන් ඉස්ලාම් දහම අනුව ලොව පළමුවන මිනිසා මෙන්ම පළමුවන වක්තෘවරයාණෝද වෙති. උන් වහන්සේගේ  ඉල ඇටයකින් හව්වා තුමිය මවා මෙලොව  මිනිස් පරපුර බිහි කළ බවද ඉස්ලාමය කියයි. ආදම් නබි තුමන්ගෙන් පටන්  එක් ලක්ෂ විසි හතර දහසක් වක්තෘවරුන් මෙලොවට පැමිණ තම තමන් ජීවත්ව සිටි කාලය තුල පැවැති  සමාජය යහමඟට ගැනීමට වෙහෙස වූ බව ඉස්ලාමය කියයි. එම භාරධූර කාර්යය මුහම්මද් නබි තුමාණන් සම්පූර්ණ කළ බවද එතුමන්ගෙන් පසුව කිසිදු වක්තෘවරයෙකු නොපැමිණෙන බවද ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීමයි.

ඉස්ලාම් ධර්මය පදනම්ව ඇත්තේ මූලික කරුණු පහක් මතයි. ඉස්ලාම් ධර්මය රඳා පවතින ප්‍රධාන කුළුණු පහක් ලෙසත් එය හැදින්විය හැකියි.  එහි පළමුවැන්න විශ්වාසයයි අල්ලාහ් දෙවියන් වහන්සේ  විශ්වාස කිරීම සහ  දෙවියන් වහන්සේගේ දූතයාණන් වන මුහම්මද් නබි තුමාණන් විශ්වාස කිරීම  වෙයි. මෙම විශ්වාසයන් අතර තවත් අතුරු විශ්වාසයන් රැසක්ද පිළිපැදීමටද මුස්ලිම්වරු බැඳී සිටිති.

දිනකට පස් ‍වේලක්  සලාතය ඉටු කිරීම දෙවැන්න  වන අතර තෙවැන්න රමසාන් මස පුරා මාසයක්ම උපවාසය සුරැකීමයි.සිව් වැන්න දුප්පත් ජනතාව වෙනුවෙන් තමන් සතු දේපළවලින් සියයට දෙකමාරක දුගී බද්දක් ලබා දෙන සකාතය වන අතර අවසන් වගකීම වනුයේ මක්කමට ගොස් හජ් වන්දනය ඉටු කිරීමයි.   

මෙම වගකීම් පහෙන් සකාත් හෙවත් දුගී බද්ද ලබා දීමත් හජ් වන්දනය ඉටු කිරීමත යන  දෙක යමක් කමක් ඇති උදවියට පමණක් අනිවාර්ය වන අතර අනෙකුත්  වගකීම් තුන සියලු දෙනාට අනිවාර්ය වෙයි.

මෙම වගකීම් අතුරින්     තුන් වන  වගකීම වන   පුරා මාසයක උපවාසය සුරැකී‍මෙන් පසුව එළඹෙන දිනයේ හෙවත් රමසාන් උත්සවය දිනය මුස්ලිම් ජනතාව සතුටින් සමරති. ඉස්ලාමීය ක්‍රමය අනුව සියල්ල සිදු කරනු ලබන්නේ  හිරු සඳු සහ තාරකා මුල්කරගෙන යි. ඒ අනුව රමසාන් උත්සවය තීරණය කරන්නේද සඳ දැකීමෙනි.  රමසාන් මස උපවාස දින 29 ක් සම්පූර්ණ කිරීමෙන් පසුව එළඹෙන සවස් කාලයේදී සඳ බැලීම සිදු කරන අතර එදින සඳ දිස් වුවහොත් පමණක් පසු දින රමසාන් උත්සවය සමරන අතර එසේ නොවුනහොත් දින 30 ක් ම උපවාසය සම්පුර්ණ කර රමසාන් උත්සවය සැමරීම සිදු කරනු ලබයි.

පුරා මාසයක් දිවා කාලයේ  නිරාහාරව සිට උපවාසය සුරකින ලෙස ඉස්ලය කියන්නේ පුළුල් අර්ථයක් ඇතිවයි. ලෝකයේ විවිධ තරාතිරම්වල පුද්ගලයෝ ජීවත් වෙති. ඇතැමෙක් විශාල වශයෙන් ආදායම් උපයමින් සුඛෝපභෝගී ජීවිත ගත කරන අතර තවත් පිරිසක් දිනකට එක වේලක් හෝ නිසි ආහාරයක් නොමැතිව ජීවිතය ගත කරති. එවන් වූ  කෝටි සංඛ්‍යාත දුප්පත් අසරණ මිනිස්සුන්ගේ කුසගින්න වටහා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි. තමන්ටද කුසගින්න දැනීමත් සමඟ එවන් දුප්පත් ජනතාවට තමන් සතු දේපළින් ඉස්ලාමය කියන සියයට දෙක හමාරේ  දුගී බද්ද සහ එයට  අමතරව තව තවත් ආධාරයන් කිසිදු පැකිලීමකින් තොරව ලබා දීමට පෙළඹවීමක්ද මෙයින් බලාපොරොත්තු වෙයි.

ඊදුල් ෆිත්ර් නම් වන මෙම රමසාන් උත්සවය තුල සුවිශාල  ළබැඳියාවන් බැඳි පවතී. සැබවින්ම මෙම ප්‍රීතිමත් උත්සවයක් බව ඉස්ලාමය කියයි. එම නිසා එදින ඔබ අසල ජීවත් වන කිසිවෙකුත් කුසට අහරක්  නැතිව නොසිටිය  යුතු බව ද ඉස්ලාමය කියයි. තමන්ගේ අසල්වැසියකුට ඒවා ලබා ගැනීමට ආපහසුතාවයක් වේ නම් ඔවුන්ට ඒවා සපයා දීම අසල්වැසි සියලු දෙනාගේ වගකීමක් ලෙස ද ඉස්ලාමය කියයි.

වර්තමානයේ  අපේ රටේ පමණක් නොව ලෝකය පුරා විශාල ආර්ථික අර්බුයක් පවතී. ලෝකයේ දියුණු මෙන්ම ශක්තිමත් රටවල්වලට එය තදින් නොදැනුනත් අප ජීවත් වන ශ්‍රී  ලංකාව වැනි දුප්පත් රටකට එය ඉතා තදින් දැනෙයි. මෙවන් අවස්ථාවන් ඇති නොවීමටද  ඉස්ලාමය යම් යම් කරුණු පෙන්වා දෙයි. ඉස්ලාමය සඳහන් කරන සියයට දෙක හමාරේ  දුගී ජනතාව වෙත ලබා දෙන බද්දද එවන් එකක් වෙයි. තමන් ගේ එදිනෙදා භාවිතයට ගන්නා දේපළ හැර අනෙකුත් සියලු දේපළවලින් සියයට දෙක හමාරක් ලබා දීම මෙයින් අදහස් කෙරෙයි.  ‍මෙලෙස  දුප්පත් ජනතාව වෙත ආධාර ලබා දීම මගින් අදහස් කෙරෙන්නේ ඔවුන් එම මුදල උපයෝගී කර ගෙන ජීවිතය ජය ගන්නට මඟ පාදා ගැනීමයි.

රමසාන් උත්සව දිනයේදී මුස්ලිම් වරුන්ගේ  ප්‍රධාන කාර්යභාරය වනුයේ එදින දිය නා පිරිසිදුව නව ඇඳුම් හෝ තමන් සතුව ඇති පිරිසිදු ඇඳුම ඇඳ ආගමික කටයුතුවල නියැලිමයි.  ඉන් පසුව තම දෙමාපියන් , සහෝදර සහෝදරියන් ඥාතීන්  හමු වී සුහදව එදින ඉතිරි කාලය ගත කිරිමද මෙදින බලාපොරොත්තු වේ. එමගින්  ඥාතීන් සහෝදරයින් සහ  පවු‍ලේ සාමාජිකයින් අතර යම් හිත් අමනාපකම් පවතී නම් ඒවා නැති කර ගැනීම මෙයින් අදහස් ‍කෙරේ.

උපවාස මාසය තුල එළඹී ගෙවී ගිය  උපවාසයේ 27 වදා  රාත්‍රීය ඉස්ලාම් ධර්මය සඳහන් කරන ආකාරයට මුස්ලිම්වරුන්ට ඉතා වැදගත් රාත්‍රියක් වෙයි. පුරා මාසයකට ආසන්න කාලයක්   උපවාසය සුරැකීමෙන් පසුව එදින රාත්‍රියේ දෙවියන් වහන්සේගෙන් කරනු ලබන  සියලු යහපත් ඉල්ලීම් දෙවියන් වහන්සේ ඉටු කර දෙන බවට විශ්වාස කරනු ලබයි. මෙවර එළඹුණ ඒ  උතුම් රාත්‍රිය පුරා මුස්ලිම් බැතිමතුන් විශාල පිරිසක් නිදි වර්ජිතව දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ අප රට වර්තමානයේ මුහුණ පාන සියලු අර්බුවලින් ගොඩ ගෙන ජනතාවට යළි සුඛිත මුදිත දිවියක් ගත කරන්නට අවස්ථාව උදා කර දෙන ලෙසයි. ඒ උතුම් වූ ප්‍රාර්ථනාව  අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ඉටු කර දෙනු ඇතැයි සියලු දෙනාගේ අපේක්ෂාවයි. ඔබ සැමට සුබ රමසාන් උත්සවයක් වේවා!!! ( ඊද් මුබාරක්)

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *