මුතු කරාබුව පැළඳි යුවතිය

මුතු කරාබුව පැළඳි යුවතිය

සංජීවනී පද්මසේන

සිත්තරෙකුගේ තෙලි තුඩ වනාහි අරුම පුදුමය. වචනයෙන් කිව නොහැකි දහසක් දේ එක් පින්සල් පහරකින් පවසන්නට ඔවුනට හැකිය. සතුට, දුක අවිනිශ්චිතතාව, කලකිරීම රේඛාවන් මත සටහන් කොට නරඹන්නන්ගේ හිතට කාවැද්දවීමට තරම් ඔවුහු නිපුණත්වයෝය. සිතුවම් නිර්මාණය වනාහි ලොව සියලුම දෙනාට කළහැකි කාර්යයක් නොවේ. ඒ සඳහා විශේෂ කුසලතාවයක් මෙන්ම නිපුණතාවයක් ද, සංයමයක් ද තිබිය යුතුමය. ඒ අතරින් කතා කරන සිතුවම් නිර්මාණයට තව තවත් විශිෂ්ටතම නිපුණතාවයක් හා ප්‍රතිභාවක් තිබිය යුතුය. 

මේ අතරින් ලොව ප්‍රමුඛම වටිනාම සිතුවම ලෙස සලකන්නේ ලියනාඩෝ ඩාවින්චි ශිල්පියා විසින් අඳින ලද “මොනාලිසා” චිත්‍රයයි. එය තවමත් කිසිවෙකුටත් කියා අහවර කළ නොහැකි කතාවක් කියන සිතුවමකි. එමෙන්ම සුප්‍රසිද්ධ තවත් සිතුවමක් ලොව පවතින බව ඔබ දන්නවා ද? එය නම් කර ඇත්තේ “මුතු කරාබුව පැළඳි යුවතිය (The girl with a pearl earring)” යනුවෙනි. 

එමෙන්ම මෙම සිතුවම ලන්දේසි මොනාලිසා යනුවෙන් ද හඳුන්වයි. ඉතාමත් ගුප්ත, නිහඬ, පරිකල්පනීය බැල්මකින් යුත් සුන්දර තරුණියකගේ වර්ණවත් උඩුකය දසුන මෙම සිතුවමෙන් දැක්වේ. සැබැවින්ම ඇය වටහා ගැනීමට අපහසුය. ඇගේ දෙනෙත් දෙස කොතෙක් වේලා බලා සිටිය ද ඇය කියන කතාව අපට වටහා ගත හැකි නොවේ. ඇය රූමත් ය. අහිංසක ය. පිවිතුරු, ගුප්ත, මායාත්මක බැල්මක් ඇගේ විසල් දෙනෙත මත තැවරී තිබේ. මදක් ඇරුණු සුන්දර දෙතොල මත මදහසක් ද, දුකක්ද කිව නොහැකි කුමක්දෝ කතාවක් සැඟවී ඇත.

ලොව පුරා ප්‍රචලිත මේ සිතුවම නිර්මාණය කරන ලද්දේ ඕලන්ද ජාතික “යොහැන්නස් වර්මීර්” නැමැති සිත්තරා විසිනි. ඔහු ජීවත්ව සිටියේ ඉතා කෙටි කලකි. (1632-1675) අඳින ලද සිතුවම් ගණන 50ක් වැනි කෙටි ප්‍රමාණයකි. ඉන් දැනට සුරක්ෂිතව පවතින්නේ සිතුවම් 36ක් වැනි සුළු ප්‍රමාණයක් වන අතර ඒ අතරින් වඩාත් ප්‍රචලිතම වන්නේ ඉහත කී මුතු කරාබුව පැළදි යුවතියගේ සිතුවමයි.

යොහැන්නස් මේ සිතුවම අඳින්නට ඇත්තේ 1665 වසරේ දී පමණ වන බව ඉතිහාස අනුමානයයි. එම සිතුවමේ අත්සනක් මිස වෙනත් කිසිම සටහනක් හෝ වෙනත් යමක් සටහන් වී නැත. 

මේ වන විට මෙය නෙදර්ලන්තයේ හේග් නුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙම සිතුවම තෙල් සායමින් කැන්වසයක් මත සටහන් කර තිබෙන අතර මෙහි උස සෙන්ටිමීටර් 44.5ක් සහ පළල සෙන්ටිමීටර් 30ක් පමණ වන බව සඳහන් වේ.

මේ ඉතා සුන්දර නිහඬ තරුණියගේ රුව ලොව පුරා මහත් ජනාදරයට පත් වූ අතර 20 වන සියවසේ පිරිමින් සිතුවමේ යුවතියට පෙම් කරන්නට තරම් උමතු වූ බව ඉතිහාසයේ සඳහන් වේ.

මොනාලිසාගේ සිතුවමේ දී මෙන්ම මෙම සිතුවමේ ද යුවතියකගේ උඩුකය රූපයක් පමණක් දක්නට ලැබෙන අතර යොහැන්නස්ගේ සිතුවම්වල ආවේණිකම ලක්ෂණය වූ වම් පසින් ආලෝකය පැමිණීම මනාව නිරීක්ෂණය කළ හැකිය. ඔහුගේ ප්‍රියතම වර්ණ සංකලනය වූ කොළ, කහ, රතු හා නිල් පැහැය මේ සිතුවමේ ද පැහැදිලිව දැකිය හැකිය. යුවතියගේ කනේ පැළඳි දීප්තිමත් මුතු කරාබුව සහ ඇගේ අවිනිශ්චිත බැල්ම අදටත් ලොව පුරා සුවහසක් දනන්ගේ කුතුහලය අවුස්සවනසුළු රස දහරාවක් බවට පත්වී තිබේ.

එමෙන්ම මොනාලිසා සිතුවමේ මෙන් මේ කෙනෙකුගේ ප්‍රතිරූපයක් නොවන නිසා මෙම සිතුවමේ සිටින යුවතිය කවුරුන්ද යන වග අදටත් අභිරහසක්ව පවතියි. 

එහෙත් මෙම සිතුවම ඇසුරු කරගෙන ට්‍රේසි ෂවර්ලියර් විසින් රචිත “මුතු කරාබුව පැළඳි යුවතිය” නවකතාව අතිශයින්ම ජනාදරයට පත්වී තිබේ. ඉන්පසු එනමින්ම සිනමා පටයක්ද නිර්මාණය විය. මෙම නවකතාව පරිකල්පනීය කතාවක් වන අතර එහිදී මුතු කරාබුව පැළඳි යුවතිය වන්නේ “ග්‍රීට්” නැමැති යොහැන්නස්ගේ නිවසේ මෙහෙකාර තරුණියයි.

ග්‍රීට් හා දරුවන් එකොළොස් දෙනෙකුගේ පියෙකු වන යොහැන්නස් අතර පවතින අනුවේදනීය ගුප්ත බැඳීම රැගත් මෙම නවකතාව නම් ජීවිතයේ එක් වතාවකදී හෝ කියවා රස විඳිය යුතුම අතිශය සුන්දර නවකතාවක් බව ඉඳුරාම කිව හැකිය.

වර්මීර් බොහෝ චිත්‍රවල සටහන් කළේ ඕලන්ද මධ්‍යම පාන්තික පවුල්වල දර්ශන අතර එම සිතුවම්වල ඉතාලි පුනරුද යුගයේ කලාව හා ග්‍රීක සම්භාව්‍ය කලාවේ ලක්ෂණ ද දැකීමට හැකිය.

ඔහුගේ සුවිශේෂතම හැකියාව වන්නේ ආලෝකය සහ අඳුර මනාව කලමනාකරණය කර ගැනීමත්, චිත්‍රයේ වම් පසින් ඇතුලු වන ආලෝකයෙන් එහි සුන්දරත්වය උපරිම තලයකට රැගෙන යාමත් ය. 

මුතු කරාබුව පැළඳි යුවතිය මෙන්ම “the guitar player” සිතුවම ද “the milkmaid” සිතුවම ද ඔහුගේ ජනප්‍රියතම සිතුවම් අතරට එකතු වේ. එහෙත් මුතු කරාබුව පැළඳි යුවතිය සේ සහෘද හදවත් ස්පර්ෂ කළ හැකි සිතුවමක් නම් වෙන නොමැති තරම් ය. 

ජීවිත කාලයේ එක් දිනෙක හෝ ඔබ මේ සිතුවම නැරඹිය යුතුය. ඒ දෙනෙත මත මැවෙන ගුප්ත කතාන්දරය තේරුම් ගැනීමට වෑයම් කිරීමේ දී අප සතු සියළු දුක් වේදනා අමතකව ගොස් අප ඇගේ දෑසට ආශක්ත වීම පුදුමයක් නම් නොවේ. ඒ මුව මත දිදුලන්නේ දුක ද, වේදනාව ද, පුදුමය ද යන්න කෙදිනකවත් සොයා ගත නොහැකි ප්‍රහේලිකාවකි. ඒ වර්ණ, හැඩතල හා සියුම් රේඛා අතිශයින්ම තාත්විකය. සජීවී ය. මෙම සිතුවම දෙස මදක් වේලා බලා සිටියහොත් ඔබ ද මේ 1665 දී පමණ ජීවත් වූ ඕලන්ද ජාතික අරුම පුදුම සුන්දර යෞවනියගේ දෑසේ මායාව මත පැටලී ඇයත් සමඟ ප්‍රේමයෙන් වෙලෙන බව නම් නොඅනුමානය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *