කිත්සිරි වනසිංහ
හෙළ වෙදකමට නව පනක් දෙන අරමුණින් ඉදි කෙරුන මිහින්තලේ මෛත්‍රීපාල සේනානායක අනුස්මරණ පාරම්පරික පර්යේෂණ රෝහල අද වන විට මිහින්තලේ ඉපැරණි නටබුන් අතරට එක් වීමේ අවදානමක් පවතී.
2013 වර්ෂයේ අප්‍රේල් මස 05 දින මුල්ගල් තබා ආරම්භ කෙරුණු මෙම රෝහල් සංකීර්ණය මැකී යන පාරම්පරික වෙදකම පාරම්පරික වෛද්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් නව පර්යේෂණ ඔස්සේ පවත්වාගෙන යමින් ඒ සියල්ල මතු පරපුරට දායාද කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරුණකි.
එසේ වුවද පර්යේෂණ සඳහා අවදානයක් යොමු නොවුනි. පසුකාලීනව එය ආයුර්වේද ප්‍රතිකාර රෝහලක් බවට පත්විය. වර්තමානයේ ද එය ඉතා සිත්ගන්නා ලෙස පවත්වාගෙන යනු ලබයි. මෙහි වෛද්‍යවරුන් තිදෙනකු රෝගී ප්‍රතිකාර සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් යොදවා තිබුණි. එසේ වුවද අද වන විට එහි ඇත්තේ එක් වෛද්‍යවරියක පමණි. දිනකට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවව ඉහළ අගයක් ගන්නා අතර දිනෙන් දින එහි වර්ධනයක්ද පවතී. මෙහි පැමිණෙන සියලු දෙනා හට ප්‍රතිකාර ලබාදීමට එම වෛද්‍යවරියට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බව ප්‍රතිකාර සඳහා යොමු වීමේදී අනාවරණය කර ගැනීමට හැකි විය.
උදෑසන 8.30 සිට පස්වරු 3.30 දක්වා වූ කාලය ප්‍රතිකාර සඳහා වෙන්කර තිබුණද එම කාල සීමාව පස්වරු 5.00 පමණ දක්වා කැප කිරීමට වෛද්‍යවරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සිදුව ඇත.
දිනකට රෝගීන් 35 දෙනකු පමණක් පරීක්ෂා කර ප්‍රතිකාර ලබා දීම එක් වෛද්‍යවරයෙකු මගින් සිදු කෙරුණ ද වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් රෝගීන් 85 ඉක්මවූ පිරිසක් පරීක්ෂා කොට ප්‍රතිකාර ලබාදීමට වර්තමානයේ එහි රාජකාරියේ නිරත වෛද්‍යවරියට සිදුව තිබේ.
වර්තමානය වන විට මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දුව දක්වන රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වර්ධනයක් පෙන්නුම් කරන අතර එහි රෝගී ප්‍රතිකාර පිළිබඳව වෛද්‍යවරිය ඇතුළු කාර්ය මණ්ඩලය දක්වන කැපවීම මෙන්ම සුහදශීලී භාවය ඊට මුල් වී තිබේ.
මෙවැනි පසුබිමක් තුළ අඩු පහසුකම් හා දැඩි කැප කිරීමකින් යුක්තව ඉටු කරන මෙහෙය අගය කළ යුතුය. මිහින්තලා කඳු පන්තියට බටහිරින් ඉතා රමණීය බිම් කඩක රෝහල පිහිටා තිබේ. අක්කර අටක පමණ භූමි ප්‍රමාණයක් රෝහල සතුය. ඔසු වගාවන් සඳහා මූලික සැලසුම් තිබී ඇතත් ජල හිඟය හමුවේ ඒ සියල්ල අතරමග නැවතී ඇත. ජල පහසුකම් ලබාදීම වෙනුවෙන් ජල නළයක්ද ඉදිකර ඇතත් ඉන් ප්‍රයෝජනයක් අත්වී නොමැත.
වෛද්‍යවරුන්ගේ හිඟයට අමතරව දේශීය වෙදකමට සම්බන්ධ රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස එහි අඩුපාඩු රාශියක් පවතී. මේ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු වේ.


