සංජීවනී පද්මසේන
ත්‍රාසජනක හොලිවුඩ් සිනමා පටයක කතා මාලාවක් මෙන්වූ අත්දැකීමක් සැබැවින්ම විඳින්නට සිදුවූ පිරිසකගේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පස් දෙනෙකුගෙන් යුතු ගුවන් යානයක් උතුරු බොලීවියාවේ බෝරාස් නුවර සිට ට්රිනියාස් නුවර දක්වා පියාසර කිරීමේ දී ඇමසන් වනයේ බොලීවියානු කොටසේ වගුරු බිමකට ගොඩ බස්සවා ඇත්තේ යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසාවෙනි. එහි බිහිසුණුම තත්ත්වය වන්නේ එම වගුරු බිම බිහිසුණු කිඹුලන්ගේ රජ දහනක් වීමයි.
කාන්තාවන් තිදෙනෙකුත් කුඩා දරුවෙකුත් ගුවන් නියමුවාත් සහිත මෙම ගුවන් යානයේ පිරිස මේ විලෝපික කිඹුල් රජ දහනේ පැය හතලිස් අටක කාලයක් මරණ බියෙන් යුතුව කිසිවෙකුගේ පිහිටක් බලාපොරොත්තුවෙන් භීෂණාත්මක කාලයක් ගත කර ඇත.
ධීවරයින් පිරිසකගෙන් ලැබුණු තොරතුරක් මත මෙම පිරිස මුදා ගැනීමට ගලවා ගැනීමේ හමුදාවන්ට හැකියාව ලැබී තිබේ. කෙසේ වෙතත් විපතට පත් වූවන් ප්‍රකාශ කර තිබුණේ යානයේ ඉන්ධනවල ගන්ධය හා වගුරේ දුර්ගන්ධය නිසා කිඹුලන් තමා සමීපයට නොපැමිණි බවත් එහෙත් කෘමීන්, කටුස්සන් හා වෙනත් සතුන්ගේ තර්ජන මැද ඔවුන් ගත කළ රාත්‍රීන් ඉතා බිහිසුණු බවත් ය.
සුළු තුවාල ලබා තිබුණ ද ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


