සංජීවනී පද්මසේන

ඉඳිකටුවක් බිමට වැටුණත් ඇසෙන තරමටම රාජසභාව නිශ්ශබ්දය. සියල්ලෝම උඩට ගත් හුස්ම පහළට දමන්නට අමතක්වූවා සේ ගල් ගැසී බලාසිටිති. දැන් දැන් කෝපයෙන් උදහස් වූ මහරජු ගිගුරුම් දී බැණ වදින හඬ හා භයානක මරණ දඬුවම නියම කරන තුරු තැතිගත්තෝ මුවඅයා බලා සිටිති. එහෙත් පුදුමයක මහත! මහරජු කොක්හඬලා සිනහ වෙන්නට පටන් ගනියි. රාජසභාව පුදුමයට පත්වේ.
මේ එක්තරා දිනෙක රජතුමා සිය අමාත්‍ය මණ්ඩලය ඇතුළු රාජසභාව වෙත කළ අරුම පුදුම යෝජනාවක ප්රතිඵලයකි. එනම්, පසුදා උදෑසන පැමිණෙන විට සියල්ලන්ම “යම් කිසි බොරුවක්” ගොතාගෙන පැමිණිය යුතු බවය. යෝජනාව පිළිගත් මැති ඇමතිවරු විසිර ගොස් පසුදින උදේ රාජසභාව රැස් වූ විට තමතමන් ගොතාගෙන ආ බොරු රජතුමා ඉදිරියේ පවසන්නට වූහ. එහෙත් ඒ කිසිවක් රජතුමාගේ සිත්ගත්තේ නැත. එවිටම නැගී සිටියේ රජවාසල කවටයා වූ අන්දරේ ය.

“ මටත් බොරුවක් කියන්නට අවසරයි මහරජතුමනි “
ඔහු පැවසූ විට එයට රාජ අනුමැතිය හිමිවුණි. මේ එවිට ඔහු කාව්‍යයෙන් පැවසූ බොරුවයි.
රජකම් කළත් ඉඳගෙන සිහසුනක් මත
ඔබ ගොන් රජෙකි මේ මහගොන් රැළට හිත
ඔබ මෙන් කුහක, නින්දිත, අධමයෙකු කැත
මුලු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත
ඉහත කී ලෙස සියල්ලන්ම තැති ගන්නේ මේ කවිය ඇසුණු විගසය.
එහෙත් කොක්හඬලා සිනාසුණු මහරජ මහත් සේ සතුටට පත් විය. එය තමා ඇසූ හොඳම බොරුව බව පවසා ජයග්‍රාහකයා අන්දරේ බව ප්‍රකාශ කළ අතර ඔහුට බොහෝ තෑගිබෝග ද පිරිනමා ඇත.
එහෙත් උපහාසය මුසුව අන්දරේ කපටි අයුරින්, ඇඟටපතට නොදැනී කියන්නට ඇත්තේ අන්දරේට පැවසිය යුතු සත්‍යය විය හැකිය. එය දන්නේ අන්දරේම පමණි.
එකල්හි රජතුමාට කවටයෙකු අවශ්‍ය වී ඇත්තේ ඇයි? රටේ දේශපාලනික ප්‍රශ්න, යුධබිය, කලකෝලාහල, කුමන්ත්‍රණ ආදී නොයෙකුත් ප්‍රශ්න හා වියවුල් මැද පීඩාවෙන් තෙරපෙන සිතට යම් වින්දනයක්, නිදහසක් විඳීමට විය හැක. කවටයාගේ විහිළුවලින් රජතුමා යම් මොහොතක් හෝ සැනසීමකට පත්වූවා විය හැක.
රජතුමාට අන්දරේ හමුවූ පුවතත් එක්තරා විනෝදමත් කතාවකි.
රජතුමාගේ මඟුල් උයනේ පොකුණක රාත්‍රියේ නිතරම හඬ තලන මැඬියෙකු වාසය කර ඇත. මේ මැඬියාගේ මහා ඝෝෂාව රජතුමාගේ නින්දට මහත් බාධාවකි. එහෙත් කිසිවෙකුටවත් මේ මැඬියා පොකුණෙන් ඉවත් කිරීමවත්, මරා දැමීමටවත් හැකිවී නැත. මේ මැඬි කරදරය බේරා දෙන කෙනෙක් ඇත්නම් රජතුමා තෑගිබෝග පිරිනමන බව අණබෙරයක් මඟින් ජනතාවට දන්වන ලදී. මෙවිට ඉදිරිපත් වූයේ කෙසඟ, කුඩා මිනිසෙකි. ඔහුට මැඬියා මරා දැමීමට හැකි බව පැවසූ හෙයින් රාජපුරුෂයෝ ඔහු රජු ඉදිරියට ගෙනගියහ.

රජතුමා ඔහුට මැඬියා මැරීම සඳහා අවශ්‍ය මොනවා දැයි විමසූ විට දුන්නක් සහ ඊතලයක් පමණක් සෑහෙන බව ඔහු පවසා ඇත.
ඉතින්, දුන්නක් සහ ඊතලයක් රැගත් මේ කෙසඟ මිනිසා රාත්‍රියේ පොකුණ අසළ රැක සිට මැඬියා කෑගසන විට එම ශබ්දය ඇසෙන තැනට දුන්නෙන් විද්දේය. පසුදා රාජපුරුෂයන් දැක ඇත්තේ පොකුණේ මැරී පාවෙන මැඬියාගේ සිරුරයි.
මහත් සේ සතුටට පත් රජතුමා මැඬියා ඉවත් කළේ කෙසේදයැයි විමසූ විට,
“ මැඬියා ඉවත් කළේ මා නොව, රාජ පුරුෂයෙන් නොවැ”
යනුවෙන් පිළිතුරු දුන් බවත්, මැඬියා සිටියේ කොතනදැයි රජතුමා විමසූ විට,
“ ඒකනම් මම දන්නේ නෑ. ඒක දන්නේ මැඬියාම තමයි “
යනුවෙන් පිළිතුරු දුන් බවත් ජනප්‍රවාදයෙහි සඳහන්ව ඇත.
මේ විහිළු පිළිතුරුවලින් බොහෝ සතුටට පත් රජතුමා රජවාසලේ කවටයා බවට “අන්දරේ” නම් මේ මිනිසා පත්කළ බවත්, “සද්ද විද්ද පලඟ පතිර” යන ගෞරව නම්බු නාමය ඔහුට ලබා දුන් බවත් පැවසේ.
අන්දරේ ඉපිද ඇත්තේ මාතර, දෙවුන්දර, කිරලවැල්ල නම් ගම්මානයේදී ය. කිරලවැල්ල ගුරුන්නාන්සේ යනු ඔහුගේ පියායි. ඉගෙනීම සඳහා ගැටමාන්නට යවන ලද ඔහු ඉගෙනගැනීමට මහත් කම්මැලි නිසා ඉන් පැන ආ බවත් ජනප්‍රවාදයයි.
අන්දරේ සේවය කර ඇත්තේ සෙංකඩගල, රාජාධිරාජසිංහ රජුට (1782-1798) බව සඳහන් නමුදු, ඇතැමුන් ප්‍රකාශ කරන්නේ අන්දරේ යනු සෑම රජවාසලකම සිටින කවටයාට යොදන පොදු නමක් බවත් ය. එය බටහිර වචනයක් වූ “ඇන්ඩෲ” නමින් බිඳී ආවක් බව තවත් මතයකි.
කෙසේ නමුදු මේ අන්දරේ, මුංකොටුවේ රාළ, වඩුගොඩ කවියා, කැකිරි ගැමියා ආදී තවත් කවීන් රැසක් සමඟ රජවාසල සේවය කර ඇත. සියුම් උපහාස සමඟ සම්මිශ්‍රණය වූ ඇනුම්පද ද ඔහුගේ කාව්‍යයන් තුළ දක්නට ලැබෙන්නේ ඉතාමත් සුන්දර අයුරිනි.
දිනක් මෙලෙස රාජසභාවේ සිටින අතරතුර රජතුමා කවියෙන් තේරවිල්ලක් පවසා ඇත. එය විසඳීමට රාජ සභාවේ අයට හැකිවූයේ නැත. මේ එම කවියයි.
දාර දෙකයි, එකතැන මුල්කර හැදුවා
පාර තිහක් ගැහුවත් බයකුත් නැතුවා
කොන් සතරයි, කණු සතරයි ගෙට ඇතුවා
තෝරාපන් ඊයේ රෑ මඟ දුටුවා
සියල්ලන්ම අන්දමන්දව සිටින අතරතුර වහා නැගිටගත් අන්දරේ මෙසේ කවියෙන් පිළිතුරු දුණි.
දාර දෙකයි, එකමැද එකගැවසීය
වටපිට යන කළට කණු සතරත් යාය
ගෙටවැඩි කළට කිසිබයකුත් නැතිවාය
මට දැනෙනා ලෙසට මහරජ, ඉබ්බාය
ඉතා සටකපට අයුරින් මහරජ ඉබ්බෙකුට සමාන කරඇති ආකාරය රජතුමාට දැනුණත්, පිළිතුර නිවැරදි බැවින් කරකියාගත හැකි දෙයක් නොවීය.
අන්දරේ ගැන ජනප්‍රවාද කතා, කාව්‍යය, ලියා අවසන් කළ නොහැකි තරම්ය. අන්දරේ සීනී කාපු හැටි, හතරබීරි කතාව, අන්දරේගේ භාර්යාව සහ රජබිසව මුණගැසුණු හැටි ආදී නොයෙක් සුන්දර කතා ළමා හදවත්වල මෙන්ම වැඩිහිටි සිත්සතන්වලත් රැඳී ඇත්තේ නොමැකෙන අයුරිනි.

මෙසේ සිනහවෙන් හා විහිළු කතාවන්ගෙන් රජතුමාගේ දුක්දෝමනස්සයන් පළවාහැරි අන්දරේ වයෝවෘද්ධ වූ විට නැවතත් සෙංකඩගල සිට රුහුණට යාමට කැමති විය. තවත් පිරිවරක් සමඟ එසේ ගමන්කරන අන්දරේට මහත් පිපාසාවක් ඇතිවුණි. බොහෝ විඩාවට පත්වී සිටියද අන්දරේට මේ මොහොතේ දීද කවියක් නොකියා සිටීමට නම් බැරිවිය.
රිදී කලේ රන් කොතලේ බීපු මට
නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙට
කොට්ට, මෙට්ට, ඇඳ, ඇතිරිලි ඇති මෙමට
කෙසේ කල් යාද පලු වීර ගස් යට
මේ අන්දරේගේ අවසානම කවිය වූ අතර ඒ ගස යටම දෑත, දෙපා විහිදා නිදාගත් අන්දරේ ඒ ඉරියව්වෙන්ම මරණයට පත්වූ බවත් පැවසේ.
අන්දරේගේ මරණය සැලවූ මහරජතුමා වහා එම ස්ථානයට පැමිණි බවත්, දෑත් දෙපා විහිදා විහිළු ඉරියව්වෙන් මැරී සිටින අන්දරේ දුටු රජතුමාට එක්වරම සිනහා පහළවූ බවත්,
“අහෝ මේ මිනිසා මැරුණත් මා හිනස්සවන හැටියක්”
යැයි රජතුමාට පැවසුණු බවත් ජනප්‍රවාදයෙහි සඳහන්ව ඇත.
මෙසේ රජතුමාගේ සියලු සන්තාපයන් එක් විහිළුවකින් නිවා දමන උපහාසය මුසු අර්ථවත් කවියෙන් සාහිත්‍යය පෝෂණය කළ කුඩා කළ අප සිත්සතන් රසාලිප්ත කතන්දර රජදහනක අතරමං කළ අන්දරේගේ සොහොන දැකගැනීමට නම්, හම්බන්තොට සිට තිස්සමහාරාම පාරේ උඩමළල හංදියෙන් වමට හැරී කිලෝමීටරයක් පමණ ගොස් දකුණු දෙසින් වැව අයිනේ ඇවිද යා යුතුය.
එලෙස එක්වරක් හෝ ගොස් මේ රසාලිප්ත මිනිසා අවසන් වරට නිදා සිටින සොහොන් නරඹා ඔහු අප වෙත දායාද කළ කවි රසයෙන් බිඳක් හෝ සිහිපත් කර ඔහුට ගෞරව ආදරය දැක්වීමට හැකිනම් එය ආදරණීය අන්දරේ වෙනුවෙන් අපට කළහැකි යුතුකමකි.
