සංජීවනී පද්මසේන

මේ තුනී මීදුම් සළුව මිහිමත වැතිරෙන්නට ඉඩ සොයන කාලයයි. නිවි නිවී දැල්වෙන තරු පවා සිය කිරණයන් අහස මතට ඇද ගන්නට සැරසෙයි. අඳුරු සළු පොරවාගත් මහා වනස්පතීන් නිහඬය. ලඳු කැළෑ සිල් ගත් උවැසියන් සේ භාවනාවකට සම වැදී සිටියත් ඉදහිට දඟලා වන ලැහැබට වැදෙන නිශාචර සතෙකුගෙන් සමාධිය බිඳ ගනියි.
මේ නිහඬ නිශ්චලත්වය බිදිමින් මහා බියජනක බිහිසුණු අදෝනාවක් ඇසුණොතින් ඔබට කුමක් සිතෙනු ඇත්ද? ඇඟ කිලිපොලා යනු ඇත. දහඩියෙන් සියොළඟ තෙත් වී වෙව්ලා යනු ඇත. ජීව විද්‍යාත්මකව සිතුවහොත් සටන් වැදීමට හෝ පළා යාමට සලස්වන ඇඩ්රිනලීන් හෝමෝන ප්‍රවාහයක් සිරුරේ ක්‍රියාත්මක වීමට පටන් ගනු ඇත.
ඉදහිටක හෝ වනපෙත දෙසින් ඇසෙන මේ බියජනක විලාපය කුමක් විය හැකිද! අතීතයේදී නම් ගැමියෝ මේ හඬට බොහෝ බිය වූහ. එම නාදය සැබැවින්ම ගැහැණියකගේ ගෙල මිරිකා මරණයට පත් කිරීමේදී නගන අදෝනාවට සමාන වූවකි. මෙම හඬ ඇසුණොතින් පසුවදා හෝ දින හතක් ඇතුළත මරණයක තතු අසන්නට සිදුවන බව ගැමියෝ විශ්වාස කළහ. මේ අද්භූත හඬ සැබැවින්ම යක්ෂයෙකුගේ හෝ භූතයෙකුගේ හෝ නොව අප රටේ ඈත අතීතයේ සිටම ජනප්‍රවාද බොහොමයකට මුල්වූ උලමාගේ නාදයයි.
උලමා යනු පක්ෂියෙකි. සැබැවින්ම බකමූණු විශේෂයකි. බොහෝ පක්ෂී විශේෂඥයින්ගේ මතය අනුව උලමා යනු මහා බකමූණා නැතහොත් වන බකමූණාය. මෙම පක්ෂියා අයත් වන්නේ strigiformes ගෝත්‍රයේ strigidae කුලයටයි.
Pot Bellied eagle නැතහොත් forest eagle නමින් හඳුන්වන මහ බකමූණාගේ විද්‍යාත්මක නාමය bubo nipalensis ය. උලමා විශාලතම බකමූණු වර්ගයක් වන අතර නිශාචර මාංශභක්ෂක පක්ෂියෙකි. මීයන්, ගස්ගෙම්බන් හා කෘමීන් වර්ග ආහාරයට ගනියි. උස්, අඳුරු තුරුගොමුවල ලගින අතර දීප්තිමත් ඇස් පෙනීම නිසා පහසුවෙන් ගොදුර ඩැහැගනියි. රුදුරු, තියුණු නිය පහුරු පිහිටා තිබීම නිසා ගොදුරු ඉරා දැමීම පහසුය. එහෙත් මේ පක්ෂීන්ට ද සතුරන් නැතුවා නොවේ. රාජාලීන් සහ සර්පයින් මගින් ඔවුන්ට ද විපත් පැමිණෙයි.
විශේෂතම ලක්ෂණය වනුයේ ඔවුන්ගේ හිස මුදුනේ පිහිටි බොකුටු හැන්දක ආකාරයෙන් පිහිටා ඇති පිහාටු ගුලියයි. කළු, දුඹුරු පිහාටු හා බඩ යට අලු වෛරම් දැකිය හැකිය. කුඩා පැටවුන් සුදු, කළු පාටින් දක්නට ලැබුණ ද වැඩෙද්දී වනයේ අඳුරට හුරු වීම සඳහාත් සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහාත් වඩාත් අඳුරු පැහැයක් දරයි.
විවෘත තුරුගොමුවල කැදලි සාදන අතර වරකට බිත්තර එකේ සිට දෙක දක්වා ප්‍රමාණයක් දමයි. මව සහ පියා දෙදෙනාම බිත්තර රකියි. පෝෂණය කරයි. සැබෑම ආදරණීය දෙමව්පිය යුවළකගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කරයි.
වියළි කලාපීය වනාන්තර වල බහුලව දැකිය හැකි අතර අඳුරු, සැඟවුණු තැන්වල වාසයට බොහෝ කැමැත්තක් දක්වයි. එනිසා මේ කුරුල්ලෙකුගේ හඬ ඇසිය හැකි වූවද දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.
මේ බියජනක නාදය නිසා උලමා පිළිබඳ ගැමියන් අතර ප්‍රචලිත ජනකතා රාශියකි. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත කතා දෙකක් තිබේ.
එනම්, එක්තරා කාලයක වැදි සහෝදරයින් දෙදෙනෙක් එකට වාසය කර ඇත. එයින් බාල සහෝදරයා රූමත් වැදි තරුණියක් විවාහ කරගත්තේය. එහිදී වැඩිමල් සහෝදරයාගේ සිතේ එම රූමත් බිරිය ගැන ආලවන්තකමක් ඇතිවී තිබේ. මෙලෙස සිටියදී දිනක් මේ දෙදෙනාම දඩයමේ ගොස් සිටින අතර නෑනන්ඩියට ලොල් වී පෙම් බැඳ සිටින වැඩිමල් සොයුරා ඊතලයකින් විද බාල සොහොයුරා ඝාතනය කරයි. වැදි චාරිත්‍ර අනුව සහෝදරයෙකු මිය ගිය විට ජීවත්ව සිටින සහෝදරයාට මියගිය සහෝදරයාගේ බිරිඳට හිමිකම් කීමට ලැබේ. බාල සොයුරාගේ මරණයට සාක්ෂි වශයෙන් ඔහුගේ ඇඟිල්ලක් කපා බුලත් මඩිස්සලයට දමා ගන්නා ඔහු නිවස බලා පිටත්ව ගොස් ඇත.
බාල පුතුගේ පමාව ගැන විමසිලිමත් වන මේ දෙදෙනාගේ මවට බුලත් මඩිස්සලයේ තිබී බාලයාගේ සුලැඟිල්ල හමුවෙයි. සිදුවී ඇති විපත වටහාගන්නා මව විලාප දෙමින් වනය දෙසට දිව යද්දී මිය ගොස් උලමා නැමැති යක්ෂණිය වී ඉපදී ඇත. එසේ විලාප දෙමින් හඬන්නේ එම යක්ෂණිය බවට ගැමියෝ අදහති.

මේ තවත් ප්‍රචලිත කතාවකි. එක්තරා ගමක වාසය කළ විවාහක යුවළකගේ සැමියා මත්පැනට හා මාංශ ආහාරයට ගැනීමට බොහෝ ගිජු වූ තැනැත්තෙකි. දිනපතා මාංශ ආහාර උයාපිහා දෙන බිරිඳට දිනෙක සැමියාගේ ආහාරය සඳහා සකස් කිරීමට මස් වර්ගයක් නිවසේ නොමැතිවිය. එදින බීමත්ව පැමිණි සැමියාට මේ බව පැවසූ විට කෝප ගත් සැමියා නිවසින් පිටව ගොස් ටික වේලාවකින් මාංශ වර්ගයක් රැගෙන එය උයා දෙන ලෙස බිරිඳට අණ කර ඇත. මේ මස් ටික රසට උයා පිහා දුන් බිරිඳට ටික වේලාවකින් සිය සිඟිති දරුවා නිවසේ නැති බව වැටහී ඇත. කලබල වී දරුවා සොයන විට යමක් වැටහී මස් බඳුන විපරම් කිරීමේදී සිඟිති පුතුගේ සුළැඟිල්ල එම මස් බඳුන තුළ හමුවී තිබේ.
සිදුවුණු බිහිසුණු විපත තේරුම් ගත් මව දරු දුක වාවාගත නොහැකිව අත තිබූ හැන්දෙන් හිසට පහරදී ගනිමින් විලාප දෙමින් වනපෙත දෙසට දිවගිය බවත් ,එහිදී මිය ගොස් නැවත ඉපදී උලමා ලෙස විලාප දෙන්නේ එම ගැහැනිය බවත් ගැමියෝ විශ්වාස කරති. උලමාගේ හිසේ සටහන් වී ඇති හැඳි සලකුණ එම ගැහැනිය හැන්දෙන් පහරදී ගැනීමේදී ඇතිවූ සලකුණ බවට ඔවුහු විශ්වාස කරති.
උලමා අද්භූත සතෙකුයැයි විශ්වාස කරන්නේ අප රටේ ජනතාව පමණක් නොවේ. ඉන්දියානු සහ අයිරිස් ජාතිකයෝද ද උලමා අද්භූත සතෙකුයැයි විශ්වාස කරන අතර එම හඬට භීතියක් දක්වති.
උලමා හෙවත් යක් කුරුල්ලා මේ බියජනක නාදය නගන්නේ එම පක්ෂීන්ගේ ප්‍රජනන කාලයේදී බව පක්ෂි විශේෂඥයින්ගේ මතයයි. ඒ බොහෝ දුරට අප්‍රේල් සිට මැයි මස දක්වා කාලයයි. ඒ කාලයේදී මේ හඬ වැඩි වැඩියෙන් වනපෙත් අතරින් අසන්නට ලැබෙනු ඇත.
බොහෝ ජනප්‍රවාද හා ජනකවිවලටත්, ගීතවලටත් වස්තුබීජය වී තිබෙන මේ උලමාගේ නාදයට බිය නොවිය යුතු බවත්, එය එම පක්ෂියා සහකරු හෝ සහකාරයා වෙත ආරාධනා කරන ප්‍රේම ගීතය බවත් සිතට ගතහොත් උලමාගේ නාදයත් භීතියකින් තොරව රසවිඳීමට ඔබට හැකිවනු ඇත.


