වැලිගම තරංග ගුණරත්න
මාතර බන්ධනාගාරයේ කලහකාරි තත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු වී බන්ධනාගාරය සතු ලිපි ලේඛන ඇතුළු භාණ්ඩ රැසකට හානි සිදුව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මාතර බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යාමට උත්සාහ ගැනීමේදී ඊට විරෝධය පල කරමින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් ඊයේ (22) රාත්‍රි 8.00 පමණ බන්ධනාගාරය තුළ කලහකාරිව හැසිරී තිබෙි .
ඇති වු තත්වයත් සමඟ රැඳවියන් විසින් ගල් මුල් යොදා ගනිමින් බන්ධනාගාරයේ ඉහළ ආරක්ෂක කුටි වල බන්ධනාගාර නිලධාරින්ට පහර දිමට කටයුතු කොට තිබු අතර එහිදී එම තත්වය පාලනය කිරිමට බන්ධනගාර නිලධාරින් අහසට වෙඩි තබා තිබේ.
මෙම කලහකාරි තත්වයෙන් බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇති බව මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා පවසයි. අනතුරුව බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, සහ පොලිස් ස්ථාන ගණනාවක නිලධාරීන් කැඳවා තිබිණි.
රාත්‍රී 8.00 ට පමණ ඇතිවු තත්වය පාලනය කර තිබියදි නැවතත් මධ්‍යම රාත්‍රි ආසන්න වන විට රැදවියන් කලහකාරි ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ තිබු දේපල වලට නැවත හානි කිරිමට පටන් ගෙන තිබු අතර එහිදී බන්ධනාගාරයේ ආරක්ෂාව පොලීසිය භාරයට පත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.
එහිදී ඇතිවු තත්වය පාලනය කිරිමට බන්ධනාගාර තුළට කඳුලු ගෑස් ප්‍රහාර දෙකක් එල්ල කිරීමටද, අහසට වෙඩි ප්‍රහාර කීපයක් තැබීමටද පොලිසියට සිදුවිය.
ඇතිවු තත්වයත් සමඟ බන්ධනාගාරය තුළ සිටි කාන්තා රැදවියන් 25 දෙනෙකු ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරිමට බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.
(22 ) දින පස්වරුවේදී බන්ධනාගාරය තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය (23 ) දින අලුයම වන විට සම්පුර්ණයෙන් පාලනය කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.
බන්ධනාගාරය තුළ ඇති වූ තත්ත්වය නිසා එහි ලිපි ලේඛන ඇතුළු වටිනා දේපල වලටද හානි සිදුවි තිබේ.
කෙසේ වුවත් ඇතිවු තත්වය පාලනය කිරිම සඳහා ,ගාල්ල මාතර හා හම්බන්තොට යන ප්‍රදේශවල පොලිස් කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කැඳවිමටත් , ගිනි නිවීමේ හමුදාවේ නිලධාරීන් සිරුවෙන් තැබිමටත් අවශ්‍ය පියවර ගෙන තිබූ අතර මේ වනවිට බන්ධනාගාරය අවට ආරක්ෂාව තවදුරටත් තරකොට තිබේ.
මෙම කලහකාරි තත්වයෙන් කිසිදු රැඳවියෙකුට තුවාල හෝ ජිවිත හානි කිසිවක් සිදුව නොමැති බවට බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අංශ කීපයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙයවති.



