මහ සයුරේ අතරමං වූ විදේශ යුවළ නිරුපද්‍රිතව මුදා ගැනේ.

ප්‍රසන්න ප්‍රදීප් කුමාර

යාපනය ඩෙල්ෆ් දුපතේ සංචාරයක් සඳහා ගොස් තිබු විදේශීය යුවළක් රැගත් ටෝලර් යාත්‍රාවක් ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපත සහ කුරිකඩ්ඩුවාන් අතර මුහුදේ ක්‍රියාවිරහිතව පාවෙමින් තිබියදී නාවික හමුදාවේ මැදිහත් වීමෙන් නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.

ඩෙල්ෆ්ට් දූපත නැරඹීමට පැමිණි සංචාරක යුවළක් රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් ඉකුත් 09 දින සන්ධ්‍යාවේ, ඩෙල්ෆ්ට් සිට කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත යාත්‍රා කරමින් තිබියදී යම් ආපදාවක් හේතුවෙන් අක්‍රීය වී මුහුදේ පාවෙමින් තිබෙන බවට ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින් නිරීක්ෂණය කර තිබේ .

නාවික නෞකා වසභ ආයතනයට අයත් පී 239 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී, ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ක්‍රියාවිරහිත වී එම ට්‍රෝලර් යාත්‍රාව එලෙස පාවෙමින් තිබෙන බව නාවික හමුදාව නිරීක්ෂණය කර තිබේ. අනතුරුව යාත්‍රාව ක්‍රියාකාරී තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදී සංචාරක යුවළ සමඟ එම ට්‍රෝලර් යාත්‍රාව මෙලෙස නිරුපද්‍රිතව කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *