මහ පොළොවේ මැණික් හොයන කළුගගේ යකඩ ගැහැණු.

නාඋල  ඉන්දික අරුණ කුමාර

රත්න දීප යන විරුදාවිලිය ලත් ශ්‍රී ලංකාවේ මැණික් පිළිබද ඉතිහාසය 70,80 සහ 90 දශක දක්වා ඈතට දිවයයි.

ලංකා පොළවේ දී හමුවන මැණික් නිධි ප්‍රධාන කොටස් දෙකකට වෙන් කෙරන අතර ඉන් පළමු වැන්න ප්‍රාථමික නිධි ලෙස ද දෙවැන්න ද්විතික නිධි ලෙස හදුන්වනු ලබයි.

ප්‍රාථමික නිධි යනු මව් පාෂාණය සමග මැණික් එකට පිහිටන අවස්ථාවන්ය.

ද්විතික නිධි යනු ජලයත් සමග සේදී වෙන් වී ඇති මැණික්ය.

පතල් කරුවන් විසින් ඉල්ලම් පස් ලෙස හදුන්වනු ලබන මෙහි බොහෝ විට මැණික් හමුවෙයි.

ලංකාවේ හමුවන ද්විතික මැණික් පිහිටි ප්‍රදේශ ලෙස නම් දරා ඇත්තේ

රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, රක්වාන, නිවිතිගල, කලවාන, රඹුක, ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම , බළංගොඩ සහ දෙණියාය ආදි ප්‍රදේශ වෙි.

ප්‍රාථමික මැණික් නිධි සුලුවශයෙන් පිහිටා ඇත්තේ ඕපනායක, ඇලහැර, බකමූණ, ඔක්කම්පිටිය සහ මහදොළ වැනි ප්‍රදේශ වල බැවි ඉතිහාසය පිරික්සද්දි සොයා ගත හැකිය.

ඒ අතර මාතලේ දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කළුගග ප්‍රදේශය ද මැණික් වලට නම් දරා ඇති ප්‍රදේශයකි.

ගොඩ හා ගැඹුරු ඉල්ලම් පිහිටි කළුගග පොළවේ මැණික් සොයන්නේ බොහෝ විට පිරිමි පුද්ගලයන්ය.

එහෙත් මේ කතාව පිරිමි පුද්ගලයන් සම්බන්ධයෙන් නොව කාෂ්ඨක අව්වේ මහ පොළවේ මැණික් සොයන කාන්තාවන් පිළිබඳවය.

ඉල්ලම් නැතිනම් මැණික් පිහිටි පස් තට්ටු සෙවීම පහසු කාර්යයක් නොවේ ඒ සඳහා හොඳ ශක්තිමත් බවක් අවශ්‍යය. ඊට හේතුව වන්නේ පොළොව කැනීම කෙතරම් දුරකින් අවසන් වී ඉල්ලම හමුවේද යන්න කලින් කිව නොහැකි හෙයිනි.

එහෙත් ඒ දුෂ්කර කාර්යයේ නිරත කාන්තාවන් දැන් දැන් කළු ගග ප්‍රදේශයේ දී දැක ගත හැකිය.

සියුමැලී දැත්වල කරගැට එනතුරු මෙකි කාන්තාවෝ මැණික් සොයා මහ දහවලේ දහඩිය මුගුරු වගුරුවති.

උදේ අට හමාරට පමණ ඇරඹෙන මේ කාර්යය දහවල් එකොළහයි තිහ පමණ වන විට නවතියි.

පසුව දහවල් කාලයේ යළි පොළව හා පොරබදන මේ කාන්තාවෝ බිම් කරුවල වැටෙන තෙක් මහපොළොවේ මැණික් සොයති.

‘ මේ පතල් වැඩ වලට මැණික් මුදලාලිලා උදව් කරනවා. සතියකට එක්කෙනෙකුට රුපියල් 1000 ක් දෙනවා. වටිටි කූඩ අරන් දෙනවා. ඉල්ලම් කූරු මුහත් කරලා දෙනවා. ගලක් හම්බවුනාම මුදලාලිට දෙන්න ඕනේ. අපි කියන ගානම ලැබෙන්නේ නැ. ලැබෙන මුදලින් සමහර මුදලාලිලා වියදම් සල්ලි කපනවා. බිම් හවුල් වගේ දේවල් පවා දෙන්න වෙනවා.

සේරම අඩුකරලා ලැබෙන මුදල වැඩ කරපු පිරිස අතරේ සමානව බෙදාගන්නවා.‘

ඒ කළුගගේ මැණික් පිළිබඳ කාන්තාවන්ගේ කතාවය.

ඉල්ලම් කඩා යළි සේදීම කරන්නේත් මේ කාන්තාවන්ය. එය මැණික් ගැරිම ලෙස හැදින්වෙන අතර, ඇත්ත වශයෙන්ම එය දුෂ්කර කාර්යයකි. වතුරේ පස් කූඩ කරකැවිම පහසු කාර්යයක් නොවන අතර විශේෂයෙන් කොන්ද සහ  දෑත් වලට ඉන් මහත් වේදනාවක් ඇති කරනු ලබයි.

එහෙත් මේ කාන්තාවන්ට නම් එය දැන් හොදට හුරු වී හමාරය.

‘ දුකයි ඉතින් …මේ රස්සාව …මොනවා කරන්න ද දරුවෝ හින්දා දුක් විදින්න එපැයි ‘ එක් කාන්තාවක් කියා සිටියේ බොහෝ හැඟුම් බරවය.

නිල් මැණික්  (Blue Sapphire) පුෂ්පරාග (Sapphire) කළු ගඟ පොළොවේදී නිතර හමුවන මැණික්ය. ඒ අතර රබස් මෙන්ම ගෙව්ඩ මැණික් ද පොළොවෙන් ගොඩට ගැනීමට බොහෝ පතල් කරුවන් සිහින දකිති. ඊට හේතුව වී ඇත්තේ ඒ සඳහා පවතින අධික මිල ගණන් වීමය.

කෙසේ වෙතත් වසර ගනනාවක් තිස්සේ මහ පොළොව හා පොරබදන කළුගගේ කාන්තාවන්ට මැණික් ලැබී තිබේද ?

‘ සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 7 – 8 – 10 වගේ වටිනාකම් තියෙන මැණික් හම්බ වෙලා තියෙනවා. කවදා හරි ලොකු ගලක් ලැබෙයි කියලා බලාපොරාත්තුවෙන් මැණික් හොයන රස්සාව කරනවා.‘

ඒ කළුගගේ කාන්තාවන්ගේ බලාපොරොත්තුය.

‘මෙහෙම වැඩ කරලා ගෙදර ගිහාම පිරිමින්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවගේද ? ‘

අපි එහෙම ඇහැව්වා.

‘ සමහර හොඳ පිරිමිත් ඉන්නවා. නමුත් කොච්චර හොඳ කෙරුවත් මහන්සිවෙලා වැඩ කෙරුවත් රැට බීගෙන ඇවිත් ගෑනුන්ට ගහන පිරිමි හරියට ඉන්නවා මහත්තයා මේ ගමේ. පොලිසි ගියත් වැඩක් නැ බනින්නේ ගැණුන්ටමයි. ඒක ඉතින් අපේ කරුමේ තමයි.‘

මැණික් හොයන දිරිය කාන්තාවන්ගේ කතාව එබඳුය. කෙසේ වෙතත් බොහෝ කාන්තාවන් පතල් රස්සාව හේතුවෙන් ගෙයක් දොරක් හදාගෙන සතුටින් සිටින බව ද අපට කීවේ මැණික් ගැරිමේ නිරත කළුගගේම කාන්තාවකි.

වසර ගණනක් තිස්සේ මහ පොළවේ මැණික් හොයන මේ කාන්නාවන් මුහුණ දෙන ගැටළු අතර ප්‍රධාන තැනක් ගනු ලබන්නේ ඔවුන්ගේ වෙහෙසට සරිලන මුදලක් නොලැබිමය. කළුගගේ සිරිත වී ඇත්තේ බොහෝ විට මුදල් වියදම් කරන මුදලාලිලාට අවශ්‍ය පරිදි මැණික මිලදී ගැනීම යැයි අපට බොහෝ පිරිසක් කියා සිටියෝය.

කෙසේ වෙතත් පතල් කරුවන්ගේ නිවෙස් වල සිදුවන මළ ගෙදර සහ මගුල් ගෙදර ඇතුළු කාරණා වලදී ඔවුන් මුදල් වැය කිරිම හේතුවෙන් බොහෝ පිරිස් මුදලාලිලාටම මැණික් ගල් ලබාදීම සිදුකරති.

ඇතැමෙක් මේ හැමටම හොරෙන් වෙනත් පාර්ශව කරුවන්ට රහසේම මැණික් විකුණා ලාභ ලබති.

කෙසේ වෙත් එවැනි ක්‍රියා සිදුකිරිම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේ කොතනක දී හෝ එම ක්‍රියාවන් හෙළි වන බැවිනි.

කෙසේ වෙතත් මහපොළවේ සැගවුනු මිණි කැට සොයා වෙහෙසෙන මේ දිරිය කාන්තාවන් ඇගයීමට ලක්කළ යුතුය.

‘සිත ඇත්නම් පත කුඩාද ‘ යන කියමන යථාර්ථයක් බවට පත්කරමින් කළු ගඟේ කාන්තාවෝද ද මහ පොළොව හා පොරබදා මැණික් සොයති.

එසේ මහන්සි වී කිසිදු මැණික් ගලක් හමු නොවන අස්ථා කොතකුත් පවතින බැවි මේ දිරිය කාන්තාවෝ අපත් සමග කියා සිටියෝය.

කුසට ලැබෙන කුමක් හෝ අහරකින් කුස පුරවාගෙන සිය දරු මුණුපුරන් වෙනුවෙන් සිය ශක්තිය දියකර හරින මේ දිරිය කාන්තාවන්ගේ දෑත් වල ඇත්තේ කරගැටය.

සියුමැළි යයි සම්මත කාන්තා රූ සපුව මේ ලියන් තුළින් පලාගොස් බොහෝ කලක් ගතවී තිබේ.

ඉරි ගිය ඇගිලි පුරුක් මෙන්ම දියපට්ටා දැමූ දෑත් මතින් ඔවුහු ලෝකය දකින්නට පෙරුම් පුරති; දිවා රෑ වෙහෙසෙති.

ඇසට නොපෙනෙන සේ මහ පොළොවේ වසර මිලියන ගණනකට පෙර සැඟව ගිය මිණි කැට සොයන මේ කළු ගඟ ලියන් සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පිරිමින් තුළ ඇත්තේ අනුකම්පාවකි.

‘ මේ කළු ගගේ ඉන්න ගොඩක් කාන්තාවෝ ගොඩක් මහන්සිවෙලා වැඩ කරනවා. කුඹුරු වැඩ, වත්තේ පිටියේ වැඩ වගේම දරුවන්ගේ වැඩ කටයුතු වල ඉඳන් පොදු ස්ථාන වල කටයුතු වලට  පවා බොහෝ දුරට සහභාගී වෙන්නේ කාන්තාවන්.

ඒ හින්දා මමනම් හිතන්නේ පිරිමින්ටත් වඩා වැඩි වැඩ කොටසක් කරන්නේ කාන්නාවන් කියලා. බොහෝ අවස්ථාවල පිරිමින්ගේ නොයෙක් හිරිහැර වලට පවා ඔවුන් ලක් වෙනවා.‘

ඒ කළු ගග ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකු අප හා දැක්වු අදහස්ය.

ඕනෑම දුකක් හොඳ හිතින් උහුලන මෙවැනි අම්මලා රට තුළ කොතෙකුත් සිටිය හැකිය.

දිවා රෑ දෙකෙහිම සිය වගකීම හා යුතුකම හරි හැටි ඉටු කරමින් සිය පවුලේ දියුණුව වෙනුවෙන් වැඩ කරන කළු ගගේ කාන්තාවන් රටටම ආදර්ශයකි.

‘ මැණික් හොයන්න වෙහෙසෙනවා කියලා තවදාවත් දුකක් හිතෙන්නේ නැ. හැම මොහොතකම තියෙන්නේ බලාපොරාත්තු. ඉතින් ඇගේ හයිය තියෙනකම් මැණික් හොයනවා. කවදා හරි හොඳ ගලක් හම්බ වෙයි කියලා හිතනවා.‘ ඒ කළු ගගේ යකඩ ගැහැණුන්ගේ අදහස්ය.

සියමැළි දෑත් වෙනුවට කර ගැට හා තුවාල සහිත දෑත් වලින් හා කිසි කලෙක මුහුණේ සුවඳ විලවුන් හෝ ක්‍රීම් විශේෂ හෝ වෙනත් අලේපන නොමැති මේ හිත සුන්දර ගැහැණු ඉර උදා වෙද්දි මහ පොළොව හා පොර බදති.; නිල්, රතු, පුෂ්පරාග සෙයා මහපොළොව හාරති. ; පස් පෙරළති. ඔවුනගේ සිත නිවෙන්නේ කුමක් හෝ මැණිකක් තමන්ට ලැබුනු දාටය.

පිරිමින්ටත් අභියෝගයක් වු කළු ගගේ ගැහැණුන්ගේ කථාව හමාර වන්නේ ඒ අයුරිනි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *