මහනුවර ජාතික රෝහලේ බෙහෙත් වර්ග 94 ක් හිඟ වූයේ කෙසේද?

සොයා බලන්නැයි නියෝජ්‍ය ඇමති කියයි

මොහොමඩ් ආසික්

 දිවයිනේ අනෙකුත් රෝහල්වල බෙහෙත් වර්ග 42 ක් පමණක් හිඟව තිබියදී මහනුවර ජාතික රෝහලේ  බෙහෙත් වර්ග 94 ක් හිඟ වූයේ කෙසේ දැයි සොයා බලන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය  හංසක විජේමුණි මහතා රෝහල් බලධාරින්ට  උපදෙස් ලබා දුන්නේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම්  කාර්යාලයේදී අද 14 වනදා සවස පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීමේදී සෞඛ්‍ය සම්බන්ධ විෂය ගැන අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා  මේ බව කීය.

මෙහිදී  මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය  හංසක විජේමුණි මහතා  සඳහන් කළේ, තමන් කළ සොයා බැලීමේදී දිවයිනේ  අනෙකුත් රෝහල්වල උපරිම වශයෙන් පවතින්නේ බෙහෙත් වර්ග 42 ක හිඟයක් පමණක් වුවත් මහනුවර ජාතික රෝහලේ බෙහෙත් වර්ග 94ක හිඟයක් පවතින බවයි.

මෙලෙස මහනුවර ජාතික රෝහලේ වැඩි  බෙහෙත් ප්‍රමාණයක් හිඟ වීමට බල පා ඇති හේතුන් ගැන සොයා බලන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා  රෝහල් බලධාරින්ගෙන් ඉල්ලීමක් කළේය.

රෝහලේ පවතින ගබඩා  පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා අඩු බෙහෙත් ප්‍රමාණයක් ඉල්ලුම් කිරීම හෝ රෝහලේම ප්‍රධාන ගබඩාවට අමතරව ඇති කුඩා ප්‍රමාණයේ ගබඩාවල හෝ වාට්ටුවල  මෙම බෙහෙත් තිබිය හැකි බවද ඒ පිළිබඳවත් සොයා බලන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා  රෝහල් බලධාරින්ගෙන් තව දුරටත් ඉල්ලීමක් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *