මලක‌ඩ රෝගය නිසා අපට අහිමි වූ කෝපි

 

මොහොමඩ් ආසික්

 ලොව පුරා  ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ දිවග රස මවන  සිලෝන් ටී වලට නොදෙවැනිවම ශ්‍රී ලංකාවේ කෝපිවලටද (CEYLON COFEE) සුවිශේෂි ස්ථානයක් හිමි වෙයි. සිසිලස මුසුවූ යුරෝපයේ රටවල ජනතාවට උණුසුමක් ලබා දීම  සඳහා ඈත අතීතයේ සිටම කෝපිවලට හිමිව තිබුණේ අතිශය සුවිශේෂි ස්ථානයකි. ඈත අතීතයේ පටන්ම ශ්‍රී ලංකාව තුළ කෝපි වගාව ප්‍රචලිතව තිබූ අතර මුල් කාලයේ වසරකට මෙට්‍රික් ටොන් 50,000 කට වඩා අපනයනය කළ නමුත් මේ වන විට එම ප්‍රමාණය බෙහෙවින් අඩු වී ගොස් තිබේ .

Cofea Arabica   සහ  Cofea rubusta  යන උද්භිද  විද්‍යා නමින් හඳුන්වන කෝපි  Rubiaceae කුලයට අයත් වෙයි.

කෝපි  ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ ඉතිහාසය ඈත අතීතයටම දිවයයි ශ්‍රී ලංකාවට මුලින්ම කෝපි හඳුන්වා දි ඇත්තේ යේමනය ඇතුළු අරාබි රටවලින් පැමිණි අරාබි ජාතිකයින් විසින් ක්‍රී.ව.1500 මුල් කාලයේදීය. එසේ වුවත් එය මහා  පරිමාණ වගාවක් නොවූ අතර කෝපි වගා කිරීම පෘතුගීසින් විසින් ආරම්භ කළද එයද අසාර්ථක වී තිබේ. ඉන්පසුව  කෝපි  වගාව 1740 දී ලන්දේසින් විසින් අත් හදා බැලීමක් සිදු කර තිබුණද එයද අසාර්ථක වී තිබිණ.

ඉංග්‍රීසින් විසින් මෙරට පාලන බලය අත් පත් කර ගැනීමෙන් පසුව  රට තුල කෝපි වගාව අත් හදා බැලීම වඩ වඩාත් තීව්‍ර කරන්නට වුහ. මුලින්ම පහත රට ප්‍රදේශවල කෝපි වගාව කර ගෙන ගියද  එයද අසාර්ථක වි තිබේ. මෙලෙස අසාර්ථක වු කෝපි වගාව මුලින්ම සාර්ථක වගාවක් ලෙස ආරම්භ කරනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍ය යුද හමුදා නිලධාරියෙකු වූ ජෝර්ජ් බර්ඩ් (George Bird) විසින් 1824 දී ගම්පොළ සිංහාරපිටියේයි. ඉන්  අනතුරුව එම වසරේදීම ලංකාවට පත් වූ අග්‍රාණ්ඩුකාරවරයා වූ  ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්  ( Sir Edwerd Bans)  විසින් ගන්නෝරුව රක්ෂිතය ඇතුළු ප්‍රදේශ ගණනාවක 1825 දී කෝපි වගාව පුළුල් වශයෙන්  ආරම්භ කරනු ලැබ තිබේ. රට තුළ කෝපි වගාව සඳහා සම්බන්ධ වු පළමු වන දේශිය වගා කරු වී  ඇත්‌තේ ජෙරෝනිස්ද සොයිසා මහතායි. නමුත් පසු කාලයේදී කෝපි වගාවේ වැඩි දායකත්වයක් දේශිය වගාකරුවන් අතට පත්ව තිබිණ.

මුල් කාලයේ ශ්‍රී ලංකාවෙන් කෝපි ටොන් 50,000 ක් අපනයනය කර තිබේ. එසේ වුවද 1870 දි කෝපි වගාවට ඇති වූ මලකඩ රෝගය නිසා කෝපි වගාව සම්පුර්ණයෙන් විනාශ වූ නමුත් පසුව  කෝපි වගාව ප්‍රතිස්ඨාපනය කිරීමෙන් පසුව මේ වන විට වසරකට මෙට්‍රික් ටොන් 600 ක් පමණ අපනයනය කිරීමේ හැකියාව ලැබි ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

2024 වසර තුලදී ලෝකයේ වැඩිම කෝපි ප්‍රමාණයක්  නිෂ්පාදනය කර ඇත්තේ  බ්‍රසීලය වන අතර එය මෙට්‍රික් ටොන් 34,80,000 ක් වේ. දෙවන ස්ථානය හිමිව ඇත්තේ වියට්නාමයටය. එය ටොන් 18,06,000 කි. කොලොම්බියාව 7,70,000 කි. ඉන්දුනීසියාව ටොන් 6,54,000 ක් ඉතියෝපියාව ටොන්  5,01,600 ක් උගන්ඩාව  3,84,000 ක් ඉන්දියාව මෙට්‍රික් ටොන් 3,72,000  වශයෙන් නිපදවා තිබේ.

ලංකාව තුළ සරුසාරව වැවී තිබූ කෝපිවලට මලකඩ රෝගය බෝ වීම නිසා විනාශ වී ගියද පසුව එම රෝගි තත්වයන්ට ඔරොත්තු දිය හැකි අභිජනනය කළ ‘ලක් පැරකුම්’ වැනි කෝපි ප්‍රභේද හඳුන්වා දී ඇති බවත් එම කෝපි වලින් හොඳ අස්වැන්නක් ලබා ගත හැකි වන බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අභිජනනය කර ලක් පැරකුම් නමින්  හඳුන්වා දි ඇති මෙම නව කෝපි වර්ගය ලෝකයේ ඉස්තරම්ම කෝපි වර්ග 10 අතරට ඇතුළත් ව තීබිමද විශේෂත්වයක් වෙයි.

ශ්‍රී ලංකාව තුල කෝපි වැඩි වශයෙන් වගා කරන ප්‍රදේශ ලෙස නුවරඑළිය මහනුවර  කෑගල්ල  බදුල්ල, සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහන් වෙයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ කෝපි වගා කර ඇති මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 60,500 ක්  පමණ වෙයි.

ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා දෙන කෝපි වගාව අපට අහිමී වීම තුලින් එම ආදායම අපට අහිමි වී තිබේ. මුල් කාලයේ මෙට්‍රික් ටොන් 50,000 කට වැඩි ප්‍රමාණයක් අපනයයන කළ නමුත්  අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  දත්තවලට අනුව 2022 වසරේදී අපයනය කර ඇත්තේ කෝපි මෙට්‍රික් ටොන් 50.56 ක් වන අතර එමගින් උපයා  ගෙන ඇති ආදායම රුපියල් මිලියන 172.11 ක් වෙයි. මෙම ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව අපනයන  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. එහි එක් අංශයක්  ලෙස ජාතික කෝපි දිනයක් මේ මස 20 වනදා බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන බවත් එහිදී කෝපි සම්බන්ධ විවිධ  දැනුවත් කිරිම් සිදු කරන බවත් කියයි.

ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි වීම නිසා  ලෝකයේ බොහෝ රටවලින්  විශාල ඉල්ලුමක් පවතින බවත් එම ඉල්ලුම යම් දුරකට හෝ සැපයීම සඳහා දිවයින පුරා සුදුසු බිම්වල කෝපි වගා කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව  පවසයි.

තේ රබර් පොල් වැනි අපනයන  වැවිලි භෝග අතරට  කෝපිද එකතු වන්නේ ඈත අතීතයේ පටන්. නමුත් කෝපිවලින් අපේක්ෂිත අපනයන ඉලක්ක සපුරා ගැනීමට නොහැකිව ඇත්තේ  1880 දී පමණ ඇති වූ අනපේක්ෂිත රෝග තත්වයක් හේතුවෙනි. එම රෝගී තත්වයෙන්  පසුව කෝපි වලට තිබූ අවධානය තේ වලට යොමු විමත් තේවලින් සාර්ථකත්වයක් ලැබීමත් නිසා කෝපි වගාව පසු බැස ගිය බවට සාධක තිබේ. කෙසේ නමුත් කෝපිද අද ලෝකයේ බහුලව භාවිතා කරන රස ගුණ පිරි පානයක් වන බැවින් ඒ සඳහා පවතින ඉල්ලුමද වැඩි වෙමින් පවතී. එම ඉල්ලුමෙන් යම් කොටසක් අපේ රටට ලබා ගැනීම අරමුණු කර ගෙන කෝපි නිෂ්පානය ඉහළ නැංවීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

 

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *