මම කිව්වේ අපේ නොවෙන ආයතනවලට මුදල් දෙන්නෙ නෑ කියල නෙවෙයි- ජනපති

චම්පිකා මුතුකුඩ

පළාත් පාලන ආයතන සඳහා අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් තමා මෑතක දී සිදුකළ ප්‍රකාශය විපක්ෂය විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තමා ඉන් අදහස් කළේ මධ්‍යම රජය විසින් ප්‍රවේශමෙන් එකතු කරන ලද අරමුදල් දූෂිත පළාත් පාලන ආයතන සඳහා වෙන් නොකරන බව පමණක්ම බව ජනපතිවරයා ප්‍රකාශ කරයි.

නුවරඑළිය ප්‍රදේශයේ පෙරේදා (19) පැවති ජන හමුවකට එක්වෙමින් එතුමා මේ බව ප්‍රකාශ කළේය.

“….. මම කියන්නෙ අපි දිනන්නෙ නැති සභාවලට සල්ලි දෙන්නේ නැහැ කියලා නෙවෙයි. මධ්‍යම ආණ්ඩුව හොරකම් නොකර, නාස්ති නොකර භාණ්ඩාගාරයට සල්ලි එකතු කරනව.ඒක් ලේසි නෑ හොඳේ. හොරකම නාස්තිය නතර කරල, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සතිපතා රැස්වෙලා, රේගුව සතිපතා අධ්‍යනය කරමින්, මුදල් ටික හරි පරිස්සම් කරලා භාණ්ඩාගාරයට ගේනව, ගෙනාපුවම, නුවරඑළිය නගර සභාවේ ඉන්නව හොරු කණ්ඩායමක්, අපි අරහෙ සල්ලි එකතු කරලා මෙහෙට දෙන්න ඕන ද ? මම කියන්නෙ ඕක.

මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නෙ නැතිනම්, නගර සභා ප්‍රාදේශීය සභා හොරකම් නොකර ඉන්න ඕනෙ. මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නෙ නැහැ, නාස්ති කරන්නෙ නැහැ, ප්‍රාදේශීය සභා හොරකම් කරනව, නාස්ති කරනව, මධ්‍යම ආණ්ඩුව වැඩ කරනව, ප්‍රාදේශීය සභාව කකුලෙන් අදිනව.

මධ්‍යම ආණ්ඩුව එකතු කරන සල්ලි, දැන දැන හොරකම් කරන්න දෙන්න ඕන ද ? අපි කියන්නේ හොරකම් කරන්න දෙන්නේ නැහැ කියල,

එයාල කියනව එයාල ආවොත් සල්ලි දෙන්නෙ නැහැලු. හරි තමයි. හොර හිත තියෙන්නෙ, හොර හිත නැත්නම් ඒක එහෙම තේරුම් ගනීද ? එයාලට කියන්න තිබ්බෙ එහෙම නෙවෙයි, අපි හොරකම් කරන්නෙත් නෑ ;අපිට දෙන්න කියලනෙ. මතක තියාගන්න, අපිට ඕන මධ්‍යම ආණ්ඩුව වැඩ කරනව, ප්‍රාදේශීය සභාවත් වැඩ කරනව. මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නෙ නැහැ, ප්‍රාදේශීය සභාවත් හොරකම් කරන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුව නාස්ති කරන්නෙ නැහැ, ප්‍රාදේශීය සභාවත් නාස්ති කරන්නෙ නැහැ. මධ්‍යම ආණ්ඩුව ජනතාව ගැන හිතනව, ප්‍රාදේශීය සභාවත් ජනතාව ගැන හිතනව. එහෙමනම් දෙන්න තියෙන්නෙ කාටද ? ජාතික ජන බලවේගයට…. ඔච්චරයි…”

එම ප්‍රකාශය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *