– කතෘ – මොහොමඩ් ආසික් –
ලෝකයේ බොහෝ රටවලට මෙන්ම අපේ රටටත් පවතින බරපතල ගැටළුවක් ලෙස මත්ද්‍රව්‍ය ගැටළුව පවතියි. ඈත කාලයේ කිතුල් ගහෙන්, තල් ගසෙන් ,පොල් ගසෙන් ලබා ගන්නා රා කටට්කින් සිය ගතේ වෙහෙස නිවා ගන්නට අපේ පැරැන්නන් වග බලා ගත් නමුත් 1505 දී මෙරටට පැමිණි පෘතුගිසින් අබිං හඳුන්වා දීමත් සමඟ වර්ධනය වී මේ වන විට විස මත් ද්‍රව්‍ය වර්ග රැසක් ලංකාවද ගිල ගෙන තිබේ.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය 2024 ජූනි මාසයේ නිකුත් කර ඇති නවතම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ලෝක ජනගහණයෙන් මිලියන 292 ක් මත් ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බවත් එය පසුගිය වසර 10 හා සැසඳීමේදී සියයට 20 ක වැඩි වීමක් බවත්ය.
ශ්‍රී ලංකාවේ සීග්‍ර ලෙස පැතිර යමින් පවතින මත් උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ නිරීක්ෂණ සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2023 ජූනි මාසයේදි පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව එවක මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් 2024.සැප්තැම්බර් 04 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
එම වාර්තවේ නිර්දේශයන් අතර මත්ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම පාලනය කිරීම, මත්ද්‍රව්‍ය සැපයුම පාලනය කිරීම, සහ ප්‍රතිකාරය සහ පුනරුත්ථාපනය ප්‍රධාන තැනක් ගනී. කාරක සභාවේ නිරීක්ෂණ ලෙස සටහන්ව ඇති කරුණු අතර, පාසැල් අතර මත්ද්‍රව්‍ය ප්‍රවණතාවයක් ඇති බව පෙන්වා දී තිබේ. එයට අමතරව, මත්ද්‍රව්‍ය දුම්කොළ සහ මද්‍යසාර සඳහා ඇති ඉල්ලුම ස්වභාවික ඉල්ලුමක් නොව කෘතිමය නිර්මාණය කර ඇති ඉල්ලුමක් බවත් මත්ද්‍රව්‍ය නිසා ඇතිව ඇති අභියෝගය ජාත්‍යන්තර ජාලගත බිහිසුණු ව්‍යසනයක් බව සහ ජාතික ප්‍රමුඛතාවයක් ලෙස සලකා මුලිනුපුටා දැමීමට කටයුතු කර නොමැති බවත්, ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් විදෙස්ගතව සිට ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය බෙදා හරින බවත්, ඇතුළු කරුණු ගණනාවක් පෙන්වා දී තිබේ.
මෙවන් තත්වයන් නිසා මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෑතක වෙනදාටත් වඩා වැඩි වශයෙන් අප රට තුලද කතාබහට ලක් වෙයි. මත්ද්‍රව්‍ය නිසා රට තුල සිදු වන අපරාධ මිනී මැරුම්වල ප්‍රමාණයද සුළු පටු නොවේ. කෙසේ වෙතත් මේ මත්ද්‍රව්‍ය නිසා වඩාත් පීඩාවට පත් වන්නේ කුඩා දරුවන් සහ කාන්තාවන් . වක්‍ර ලෙස මෙන්ම සෘජු ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කිරිම මගින් කුඩා දරුවන් කාන්තාවන් මෙන්ම තරුණ පිරිස්ද ගොදුරුව ඇති අවස්ථාද සුළු පටු නොවේ.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ පනත මගින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් ලබා ගත් තොරතුරු මත රපේ රටේ දරුවන් සහ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතා වී ඇති අයුරු සහ මත්ද්‍රව්‍ය නිසා බන්ධනාගාර ගත වූ දරුවන් සහ කාන්තාවන් පිළිබඳව සොයා බැලීමට අදහස් කළෙමු
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තොරතුරු නිලධාරි ආර්.එම්.එස්.පී. එම්. රත්නායක මහත්මිය විසින් ලබා දී ඇති තොරතුරු මෙම ලිපිය සඳහා පාදක කර ගැනේ.
මණ්ඩලය මගින් ලබා දී තොරතුරු අනුව 2019 වසරේදී අවුරුදු 14 අඩු දරුවන් නව දෙනෙකු සහ 2020 , 2021 සහ 2022 වසරවලදී අවුරුදු 14 ට අඩු සිසුන් හය දෙනෙකු බැගින් ගංජා වැරදිවලට අත් අඩංගුවට පත්ව තිබේ. කෙසේ නමුත් 2023 වසරේදී එම වයසේ කිසිවකුත් අත් අඩංගුවට පත් වී නොමැති වීම සුළු සැනසීමකට හේතුවකි.
වයස අවුරුදු 15 ත් 19 ත් අතර නව යොවුන් තරුණ පිරිස අතර ගංජා වැරදි සඳහා 2019 දී 2450 ක්,2020 දී 1850 ක් , 2021 දී 842 ක් 2022 දී 1,152 ක් සහ 2023 දී 2,490 ක් අත් අඩංගුවට පත්ව තිබේ.
හෙරොයින් සම්බන්ධ වැරදි සඳහා 2019 දී අවුරුදු 14 ට අඩු දරුවන් හය දෙනෙකු 2020 දී හතර දෙනෙකු 2021 දී දෙදෙනෙකු දහ 2022 දී හතර දෙනෙකු වශයෙන් අත් අඩංගුවට පත්ව සිටියත් 2023 වසරේදී එම වයසේ කිසිදු දරුවකු අත් අඩංගුවට පත් නොවීමද සතුටට කරුණකි.
වයස අවුරුදු 15 ත් 19 ත් අතර නව යොවුන් වියේ පසු වන තරුණ පිරිස් අතරින් හෙරොයින් වැරදි සඳහා 2019 දී තරුණයින් 554 ක් 2020 දී තරුණයින් 555 ක් 2021 දී එම වයසේ තරුණයින් 217 ක් 2022 වසරේදී තරුණයින් 247 ක් සහ 2023 වසරේදී තරුණයින් 354 දෙනෙකුද අත් අඩංගුවට පත්ව සිටිති.
කුඩා දරුවන් මෙන්ම නව යොවුන් වියේ තරුණයින් වැඩි වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්තේ තම දෙමාපියන්ගේ ආභාශයෙන් හෝ නරක මිතුරන් වගේම නොමනා මඟ පෙන්වීම් නිසා වෙනි. එවගේම පසුගිව කාලයේ දරුවන් යොදා ගෙන එම දරුවන්ගේ දෙමාපියන් වගේම පිටස්තර පුද්ගලයින්ද මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වූ අවස්ථා විශාල වශයෙන් මාධ්‍ය වෙත වාර්තා වී තිබිණ.
මැත කාලයේ වඩාත් ප්‍රචලිතව ඇති තවත් භයානක මත්ද්‍රව්‍යක් වන අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත් කළ 2019 සිට 2023 වසර දක්වා වයස අවුරුදු 14 ට අඩු එකදු දරුවකුවත් හසු වී නොමැති නමුත් අවුරුදු 15 . ත් 19 ත් අතර යොවුන් පිරිස අතරින් 2020 දී අට දෙනෙකු 2021 දී සහ 2022 වසරේදී එක් අයෙකු බැගින් වාර්තා වී තිබු නමුත් 2023 වසරේදී එක් වරම 303 ක් දක්වා අසිමිත වර්ධනයක් පෙන්නුම් කරයි.
මත්ද්‍රව්‍ය භාවිතයේදී මෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වීම්වලදී දරුවන් මෙන්ම කාන්තාවන්ද අත් අඩංගුවට පත් වීම සමාජයේ පිරිහීම වඩාත් මතු කර පෙන්වීමක් වෙයි.
පසුගිය වසර පහක කාලය තුල කාන්තාවන් සම්බන්ධයෙන් පවතින මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරුද එතරම් සුබ දායක නොවේ. අන්තරාකර ඖෂධ පලක ජාතික මණ්ඩලය මගින් ලබා දී ඇති තොරතුරු අනුව 2020 වසරේදී ගංජා වැරදි සම්බන්ධයෙන් කාන්තාවන් 326 දෙනෙකු 2021 දී කාන්තාවන් 183 දෙනෙකු 2022 වසරේදී 233 දෙනෙකු සහ 2023 වසරේදී කාන්තාවන් 578 දෙවෙනකුද අත් අඩංගුවට පත්ව සිටිති.
හෙරොයින් වැරදි සම්බන්ධයෙන් 2020 වසරේදී කාන්තාවන් 260 ක් 2021 වසරේදී 131 ක් 2022 වසරේදී 183 ක් සහ 2023 වසරේදී කාන්තාවන් 436 දෙනෙකුද අත් අඩංගුවට පත්ව සිටිති.
අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 2020 දී කාන්තාවන් 14 ක් 2021 දී 21 ක් 2022 වසරේදී කාන්තාවන් 37 ක් සහ 2023 වසරේදී කාන්තාවන් 189 දෙනෙකුද අත් අඩංගුවට පත්ව සිටිති.
මෙම දත්ත විශ්ලේෂණය කර බැලීමේදී පෙනී යන්නේ පෙර වසරවලට සාපේක්ෂව 2023 වසරේදී කාන්තාවන් අත් අඩංගුවට පත් වීම් විශාල ලෙස වැඩි වී ඇති බවයි.
මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 2019 වසරේදී කාන්තාවන් 654 දෙනෙකු 2020 දී කාන්තාවන් 395 දෙනෙකු 2021 වසරේදී 2015 දෙනෙකු 2022 දී 395 දෙනෙකු සහ 2023 වසරේදී කාන්තාවන් 644 දෙනෙකුද බන්ධනාගාර ගත වී තිබේ. මෙම දත්තවලින්ද පෙන්නුම් කරන්නේ 2019 සිට 2022 වසර දක්වා තත්වයට වඩා 2023 වසරේදී කාන්තාවන් විශාල ප්‍රමාණයක් මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වී ඇති බවයි. මෙම මෙම තත්වය සඳහා පසුගිය වසරවල පොලිසිය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ යුක්තිය නම් වූ මත්ද්‍රව්‍ය මර්දන වැඩ සටහන්ද හේතු වන්නට ඇති බව සිතිය හැකිය.
2023 වසරේදී මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 29,192 කු බන්ධනාගර ගත වී ඇති අතර එයින් අවුරුදු 17 ත් 22 ත් අතර පුද්ගලයින් 1757 ක් 23 ත් 30 ත් අතර පුද්ගලයින් 8491 ක් වයස අවුරුදු 31 ත් 40 ත් අතර පුද්ගලයින් 8,941 දෙනෙකු වයස අවුරුදු 41 ත් 50 ත් අතර පුද්ගලයික් 6,046 දෙනෙකුද අවුරදු 50 ට වැඩි පුද්ගලයින් 3,952 කුද බන්ධනාගාර ගත වී ඇති අතර වයස සඳහන් නැති පුද්ගලයින් පස් දෙනෙකුද බන්ධනාගර ගත වී සිටිති.
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ වන් පුනරුත්ථාපනය කිරීම සඳහාද අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය මගින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබයි .ඒ සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යන අතර ඒවා මහනුවර හන්දෙස්ස, නිට්ටඹුව නවදිගන්තය, ගාල්ල උණවටුන, සහ තලංගම කොස්වත්ත යන ප්‍රදේශවල එම මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි. මෙයට අමතරව මණ්ඩලය මගින් පාසැල් සිසුන් තරුණ ප්‍රජාව ගුරුවරුන් මෙන්ම දෙමායින් දැනුවත් කිරීමේ වඅඩසටහන්ද දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබයි.මෙවන් තත්වයන් හමුවේ මත්ද්‍රව්‍ය යන්න ළමයින් ළමා කාලයත් තරුණයින්ට තාරුණ්‍යයත්, වැඩිහිටියන්ට ජීවිතත් අහිමි කරන මහා දිෂ්ඨියක් වැනිය එයමුලිනුපුටා දැමීම රජයේ මෙන්ම සියලු දෙනාගේ වගකීමක්ද වෙයි. ඔබ ඔබට හැකි පමණ මේ සඳහා දායක වන්න එවිට ඔබේ දරුවා මත් උවදුරෙන් මිදෙනු ඇත.
2019 සිට 2023 දක්වා ගංජා සහ හෙරොයින් සඳහා අත් අඩංගුවට පත් දරුවන්

2020 සිට 2023 දක්වා ගංජා හෙරොයින් සහ අයිස් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් කාන්තාවන්
