මඩකලපු දුම්රිය මගේ අලි අනතුරු වැළැක්වීමට පියවර

යසංග  මහවිතාන

පසුගිය දිනෙක මීනගයා දුම්රියේ අලි රංචුවක් ගැටීම නිසා වන අලි පස්දෙනකු එකවර මියගිය පුවත පරිසරවේදීන්ගේ මෙන්ම වනාන්තරයට සතා සීපාවාට ආදරය කරන සියලු දෙනාගේ හදවත් කම්පා කිරීමට සමත් විය.මෙවන් සිදුවීම් හැකි පමණ වළක්වා ගැනීමට අවශ්‍ය පියවර  කඩිනමින් ගත යුතුව තිබේ.

මින්නේරිය හබරන දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් වන  අලින් සැරිසරන  භූමියක් හරහා දිවේ. මඩකලපුව කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා වන අලින් ගමන් කිරීම නිතර සිදුවන්නකි. එසේ ගමන් කරන අලින් දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳ සලකා බැලෙන  සාකච්ඡාවක් ඊයේ( 22) කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී පැවැත්විණි.

ඊට නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා වැඩ බලන වනජීවී අධ්‍යක්ෂ දුම්රිය බලධාරීන් පොලිසියේඇතුළු පිරිසක් එක්ව සිටියහ. ඒ විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහ අදාල බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා පැවති සාකච්ඡාවේ  දිගුවක් ලෙසිනි. පිරිස විශේෂ දුම්රියකින් ගමන් කරමින් ,මඩකලපුව කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගල්ඔය හා හිඟුරක්ගොඩ දක්වා කොටස නිරීක්ෂණයේ යෙදුණහ.

මෙම දුම්රිය මාර්ගයේ පිහිටීම මත අලි පැටවුන්ට දුම්රිය දකිත්ම වහා ඉවත්වීමේ හැකියාවක් නොමැති බව මෙහිදී අනාවරණය විය.ඒ අනුව දුම්රිය මඟ දෙපසින් අඩි පහළොවක් විස්සක් පමණ හෙළිකිරීමට මෙහිදී තීරණය විය.එසේම සූර්ය පැනල මුරකුටි ආදිය භාවිතයෙන් මෙම කොටස ආලෝකවත් කිරීමටත්, කවුඩුල්ල සහ මින්නේරිය අතර අලින්ට මාරුවීම සඳහා අලි කොරිඩෝ නිර්මාණය කිරීමටත් තීරණය කරන ලදී.ඒ සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් ප්‍රමාණවත්ව යෙදවීමට ද මෙහිදී කතිකා විය. එසේම අලි ගැවසෙන මෙම ප්‍රදේශය තුළදී දුම්රිය වේගය පාලනය කිරීමටත් තීරණය කරනු ලැබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *