බෝගම්බර සිපිරි ගෙදර කොළ නැති ගහේ කතාව

 

මොහොමඩ් ආසික්

ශ්‍රී ලංකාවේ දෙවැනි බන්ධනාගාරය ලෙස 1876 වසරේදී ඉංග්‍රීසින් විසින් නිර්මාණය කරන ලද  මහනුවර නගරයේ පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාරය මේ වන විට ලෝක උරුමයක් බවටද පත් වී තිබේ. මෙම ස්ථානයේ ස්ථාපිත කර තිබූ බන්ධනාගාරය පල්ලෙකැලේ ප්‍රදේශයට රැගෙන යාමත් සමඟ පැරැණි බෝගම්බර බන්ධනාගාරය පැවැති ප්‍රදේශය සංරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පරිපාලනය කරනු ලබයි. මෙම ස්ථානයේ සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අදහසක් පවතින බවද කියවේ. මේ වන විට එය නැරඹීම සඳහා මහජනතාවටද අවස්ථාවක් ලබා දී  තිබේ. ඓතිහාසික වැදගත්කමකින් යුත්  පැරැණි බෝගම්බර බන්ධනාගාරය ගැන විමසා බැලිමකි මේ.

බෝගම්බර බන්ධනාගාරය ඉංග්‍රීසි පාලන සමයේ 1876 දී  මෙරට ප්‍රථම පොලිස් කොමසාරිස්වරයා වූ යූ.එන්.එස් සොන්ඩර්ස් මහතාගේ අධීක්ෂණය යටතේ ඉදි කර ඇත. වෙන් නොවුණු එක දිගට ඉදි කළ ආසියාවේ දිගම ගොඩනැගිල්ල ලෙසද මෙම බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල සඳහන් වෙයි. මහල් තුනකින් සමන්විතව තිබූ මෙම බෝගම්බර බන්ධනාගාරයේ සිර මැදිරි 328 ක්  තිබූ අතර එය දිවයිනේ ආරක්ෂාකාරිම  බන්ධනාගාර අතර දෙවැනි ස්ථානයේ පවතී.

1876 වසරේදී මෙම බන්ධනාගාරය ආසියාවේ දිගම අත්තිවාරම සහිත ගොඩනැගිල්ල ලෙස ප්‍රථම බන්ධනාගාර පොලිස්  කොමසාරිස් යූ.එන්.එස්.සොන්ඩර්ස් මහතා විසින් ඉදි කර ඇත්තේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සහ එවක රැඳවියන් 92 දෙනෙකුගේ ද සහායෙන් බව පැවසේ. ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය  ක්‍රියාත්මක කළ  බන්ධනාගාර දෙකින් එකක් ලෙසද මෙම බෝගම්බර බන්ධනාගාරය සඳහන් වෙයි.

ලෝක ධර්මතාවයට අනුවත් ආගමික සිද්ධාන්තයන්ට අනුවත් වරදට  දඩුවම සංකල්පය ඈත අතීතයේ සිටම පැවත එන්නකි. විශේෂයෙන්ම මරණ දඩුවම නියම කිරිමද ඈත අතීතයටම දිවයයි. ලෝකයේ රජවරුන්ගේ පාලන සමයන් තුළ ඉතා කෘෘර ලෙස මරණ දඩුවම ක්‍රියාත්මක වු බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඒ අතර, හිස ගසා දැමීම, ශරීරයේ කොටසින් කොටස ඉවත්  කිරිම,  උණු කළ තෙල් කටාරම්වල ගිල්වීම,යටිපතුල් පලා ලුණු මිරිස් දමා  ගිනියම් වැල්ලේ ඇවිද්දවීම , අලින් ලවා පාගා මරණයට පත් කිරීම  වැනි දඩුවම් ක්‍රම භාවිතා විය. අපේ රටේද  පැරැණි රජ සමයන්වලද මෙවන්  දැඩි දඩුවම් ක්‍රම භාවිතා වී තිබේ.

එසේ  වුවද පසුකාලීනව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේදී යම් ක්‍රමවේදයක් ගැන සාකච්ඡා වි ඇති අතර   ඒ සඳහා විවිධ ක්‍රම යෝජනා වි තිබේ. ඒ සඳහා සුදුසුම ක්‍රමය ලෙස ප්‍රාණය නිරුද්ධ වන තුරු  එල්ලා මැරීමේ ක්‍රමය හදුන්වා දී තිබේ. අධිකරණයකින් මරණ දණ්ඩණය නියම වු කෙනෙකුගේ දඩුවම ක්‍රියාත්මක කිරිම සඳහා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා මැරීම යෝජනා වී ඇත්තේ 1779 වසරේ සැප්තැම්බර් 23 වනදායි.  එය පනතක් ලෙස සම්මත වි ඇත්තේ 1802 වසරේ දීයි. මෙම පනත අනුව ලංකාවේ මුලින්ම එල්ලා මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇත්තේ 1802 පෙබරවාරි මස 10 වනදා ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කිරීමේ චෝදනාවට ඉංගිරියේ   කළු අප්පු නම් අයෙකු එල්ලා මැරීමෙනි.

එල්ලුම්ගහ රට තුළ ක්‍රියාත්මක වූ කාලයේ පවා එය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවට නිසි දැනුමක් නොතිබිණ. මරණ දඩුවම  නියම වූ වරදකරුවකු එල්ලා මරන්නේ අලුගෝසුවා විසිනි. අධිකරණ නියෝගයක්  හිමි වුවද එල්ලා මරණ දිනය සහ වේලාව නිශ්චිත කර  අත්සන් තැබිය යුත්තේ රාජ්‍ය නායකයායි. වර්තමානයේ නම්  ජනාධිපතිවරයායි. වරදකරුවකු එල්ලා මැරීමට භාවිතා කරන කඹය සාමාන්‍යයෙන් මීටර් 30 ක් පමණ දිග වෙයි .හණ ගසේ කෙඳිවලින් මෙම කඹය නිර්මාණය කර තිබිණ.  මරණයට නියමවූ වරදකරුවකු දින හතකට කලින්  සිට විශේෂ කුටිවල රඳවා  තබන්නේ වෙනත් සිරකරුවන්ගෙන් වෙන්  කර තැබිමටයි .ඔහු බැලිමට පවුලේ ඥාතින්ට අවසර හිමි වි තිබිණ. 

එල්ලුම් ගස මෙන්ම මරණ දඩුවම ද  ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  පසු කාලීනව විවිධ මතබේදයන් ඇති විය. පසුකාලිනව ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල සහ එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ පවා  මරණ දඩුවමට එරෙහිව හඩක්  මතු විය.

ශ්‍රී ලංකාව තුළ 1802 වසරේ සිට ක්‍රියාත්මක වූ මරණ දඩුවම අහෝසි කළ යුතු බවට මුලින්ම යෝජනා කර ඇත්තේ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 1928 වසරේදී මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතායි. එය ප්‍රතික්ෂේප වී ඇති අතර 1939 දි එය නැවතත්  එවක පානදුර මහජන නියෝජිතයා වු සුසන්තාද ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කර තිබේ. නමුත් මරණ දඩුවම නියම වු පුද්ගලයෙකුට ලබා දිය හැකි වෙනත් දඩුවමක් නොමැති වූ නිසා මරණ දඩුවම දිගටම ක්‍රියාත්මක විය. 1956 වසරේ බලයට පත් වු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතාගේ රජය විසින් මරණ දඩුවම ලබා දීම අහෝසි කළ නමුත් 1959 වසරේ සිට එය යළිත් ක්‍රියාත්මක විය. ලංකාව තුළ අදත් මරණ දඩුවම ක්‍රියාත්මක වෙයි.  නමුත් 1976 වසරේ සිට ලංකාවේ මරණ දඩුවම ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නේ රාජ්‍ය නායකයා එයට අත්සන් නොකිරීම නිසාය. අවසන් වරට ලංකාව තුළ ප්‍රායෝගිකව  මරණ දණ්ඩණය ක්‍රියාත්මක වි ඇත්තේ 1976 ජූනි 23 වනදායි. ඒ හොඳ පපුවා නම් පුද්ගලයෙකුට බව සඳහන් වෙයි. 1802 වසරේ සිට ක්‍රියාත්මක වූ මරණ දඩුවම 1976 වසරෙන් පසුව ක්‍රියාත්මක වි නොමැත. මරණ දඩුවම ලබා දීම සඳහා වන පනත ක්‍රියාත්මක වූ දා පටන් පුද්ගලයින් 2000 කට වැඩි පිරිසක් එල්ලා මරා ඇති බව දත්තවල සඳහන් වෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වසරේදි නිකුත් කර ඇති  වාර්තාවට අනුව 2023.12.31  දින වන විට මරණ දණ්ඩනයට නියමූ දේශීය පිරිමි රැඳවියන් 731 ක් සහ කාන්තාවන් 15 දෙනෙකු  විදේශිය පිරිමි රැඳවියන් පස් දෙනෙකු  ද  ඇතුළුව මරණ දඩුවම නියමූ රැඳවියන් 751  දෙනකු රඳවා තබා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බන්ධනාගාර දෙකක් වූ වැලිකඩ සහ බෝගම්බර  බන්ධනාගාර දෙකේ එල්ලුම් ගහ ක්‍රියාත්මක වූ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ පළමු එල්ලුම් ගහ 1871 මැයි මස 25 වනදා වැලිකඩ බන්ධනාගාරයේදී ඉදි කරනු ලැබ තිබේ. ඉන් අනතුරුව 1876 වසරේදී ඉදි කළ බෝගම්බර බන්ධනාගාරයේද එල්ලුම් ගහක් නිර්මාණය කර තිබේ .එදා පටන් 1975 වසර දක්වා බෝගම්බර බන්ධනාගාරයේ එල්ලුම් ගසේ පමණක් අධිකරණය මගින් මරණ දඩුවම නියම වූ පුද්ගලයින් 524 දෙනෙකු එල්ලා මරණයට පත් කර තිබේ.  බෝගම්බර බන්ධනාගාරයේ අවසන් වරට එල්ලා මරා ඇත්තේ රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කර තිබූ තිස්මඩ මිනී මැරුමේ වරදකරුවන්  දෙදෙනායි. ඒ 1975 නොවැම්බර 21 සහ 22 යන දෙදින තුළදීය.

 2015 බලයට පත් වූ යහපාලන රජයේ ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමින්  මත්ද්‍රව්‍ය වැරදි සඳහා අධිකරණයෙන් මරණ දඩුවම හිමි වන වරදකරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා උත්සාහයක් ගත්තද ඔහුගේ පාලන කාලය අවසන් විමත් සමඟ එය නැවතී ගියේය.

 දැන හෝ නොදැන සිදු කරනු ලබන විවිධ අපරාධයන්ට වරදකරුවන් වි මරණ දඩුවම ලබා එල්ලුම් ගස ළඟට යාමට හැකියාව ලැබි තිබුණේ එහි සේවකයින් හැරුණු විට මරණ දණ්ඩණය හිමි වන  පුද්ගලයාට පමණි. මේ වන විට  මරණ දණ්ඩණය අක්‍රිය වී තිබුණද බන්ධනාගාරය තුළ මරණ දඩුවම ක්‍රියාත්මක වු ආකාරය දැක බලා ගන්නට බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදි මහජනතාවට මේ වන විටත් අවස්ථාව සලසා දි තිබේ.

පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ වත්මත් දර්ශන

Leave a Comment

Your email address will not be published. Required fields are marked *