.මොහොමඩ් ආසික්
බටලන්ද ගැන විතරක් නොව මේ රටේ තුණ්ඩු කෑල්ලකට කඩවල් වහපු , රජයේ නිලධාරින් මරා දාපු සිද්ධින් ගැනත් කොමිසම් මගින් පරීක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සඳහා තරඟ කිරිමට ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව අද 12 වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා මේ බව කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
“…බටලන්ද වගේම මේ රටේ තුණ්ඩුවට ලයිට් නිවපු යුගයක් තිබුණා. තුණ්ඩුවට කඩවල් වහපු යුගයක් තිබුණා.ඒ කාලයේ රජයේ සේවකයින් විශාල පිරිසක් මැරුවා. ගමේ ග්‍රාම සේවක මැරුවා. ගුරුවරයාව මැරුවා.පොලීසිවලට ගැහුවා.ඒ වගේ මේ රටේ විනාශයන් වුන අවස්ථා ගණනාවක් තියෙනවා.ඒඅවස්ථා ගැනත් කොමිසම් පිට කොමිසම් දාල හරි පරික්ෂා කරල ඒ මැරිච්ච උදවියට, දේපළ හානි වෙච්ච අයට සාධාරණයක් වෙන්න මේ සියලු දේ ගැන හොයනවානම් තමයි වඩා හොඳ.
දැන් ඉතින් ජනතාව දන්නවා රැවටුනා ඇති කියලා.පසුගිය මැතිවණවලදී අවුරුදු 76 ක් මොකද වුනේ කියලා ඇහැව්වට ජනතාව දන්නවා ගමේ පාරවල් හැදුවේ කවුද, ගමට ලයිට් ටික දුන්නේ කවුද, ගමේ බෝක්කුව හැදුවේ කවුද, ගමේ රෝහල හැදුවේ කවුද , ගමේ ඉස්කෝලේ හැදුවේ කවුද… කියන මේ සියල්ලම ජනතාව දන්නවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා දැන් රැවටුනා ඇති මේ රටේ යුගයක් තිබුණා තුණ්ඩුවෙන් කඩවල් වහපු. දැන් සමහර අය උත්සාහ කරනවා එදා තුණ්ඩුවෙන් කළ දේ අද කතාවක් කරල කරන්න. පසුගිය කාලයේ රටේ ඇති වුන ප්‍රශ්නවලට කවුරුවත් මැදිහත් වුණේ නෑ. ජනාධිපතිවරයා මැදිහත් වුණේ නෑ.ආණ්ඩුව මැදිහත් වුණේ නෑ. අදාළ ඇමතිවරයා මැදිහත් වුණේ නෑ. ඒ ගොල්ල බොහොම අපූරුවට පාර්ලිමේන්තුවේ කතාවක් කරල තර්ජනයක් පමණයි කළේ. එදා තුණ්ඩුවෙන් කරපු දේ අද පාර්ලිමේන්තු කතාවක් හරහා කරනවා.
පොදු ජන පෙරමුණ ලංකාවේ සියලුම පළාත් පාලන ආයතන සඳහා පුටුව ලකුණින් තරඟ කරනවා. මේ රජය ජනතාවට දුන්න පොරොන්දු එකක්වත් ඉටු කරළ නෑ. ….”.ඡන්දය දුන් ජනතාවට ඒ රැවටීමෙන් මිදීම සඳහා මෙම පළාත් පාලන මැතිවරණය මගින් හොඳ අවස්ථාවක් උදා වී ඇති බවත් මෙහිදී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කීය.
