පොලිස් විරු දිනය සැමරීමට මුල් වූ ලංකාවේ රොබින් හුඩ්

සංජීවනී පද්මසේන

ලංකාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක්ව පැවති කාලයේ එක්තරා දිනයක බෑඟිරි තලමින් කොලු පැටියෙකු මෙලොව එළිය දුටුවේය. ඒ 1832 මාර්තු මස 25 වන දිනයේ දීය. ඒ හඬාගෙන පැමිණි කොලු පැටියා දිනෙක හිරු නොබසින අධිරාජ්‍යය පවා සොළවන තරමට ප්‍රබල තැනැත්තෙකු වනු ඇතැයි ඔහුගේ පියා වන දීකිරිකෑවගේ අදාසි අප්පුවත් මවවන පිචෝහාමිවත් එදින නම් සිතුවේ නැත. එහෙත් පසුකලෙක නම ඇසූවත් ඉංග්‍රීසීන් බියෙන් තැති ගැන්වූ “ශ්‍රී ලංකාවේ රොබින් හුඩ්” වූයේ ඔහුය. එනම් “උතුවන්කන්දේ සූර සරදියෙල්” යනුවෙන් එංගලන්ත රජය පවා ආන්දෝලනයට පත් කළ තැනැත්තා ඔහුය.

අදාසි අප්පුට හා පිචෝහාමිට දාව උපන් මේ කොලු ගැටයා පවුලේ වැඩිමලා වූ අතර නාහෙට නාහන හිතුවක්කාරයෙකු ද විය. ඉලුක්ගොඩ විහාරස්ථානයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ගමේ ප්‍රභූවරයෙකුගේ ඥාති පුතෙකුට පහර දීමෙන් අතඅත්අඩංගුවට පත්වූ අතර ඔහුගේ අධ්‍යාපනය එතැනින්ම නිම වේ.

ගම් ප්‍රදේශයෙන් පළා ගොස් කොළඹ හමුදා බැරැක්කයක සේවය කළ සරදියෙල් එහිදී ගිනිඅවි භාවිතය ගැන හොඳින් දැනුවත් වූයේය. කල් යාමේදී ගිනිඅවි කීපයකුත් මුදලුත් රැගෙන බැරැක්කයෙන් පළා යාමට සරදියෙල් සමත් විය.

ඉන්පසු ඔහු මංපැහැරීමට පුරුදු වූ අතර කෙදිනකවත් දුප්පත් අසරණයින්ගෙන් නම් මුදල් හෝ වෙනත් දෙයක් මංකොල්ලකෑවේ නැත. ඔහුගේ ඉලක්කය වූයේ ඉංග්‍රීසි ජාතිකයින්, ප්‍රභූ පැලැන්තිය හා මුස්ලිම් වෙළෙන්දන්‍ ය.

නාටිකෝට් වේට්ටියාර් නැමැත්තාව ඝාතනය කිරීමට චෝදනා ලැබූ සරදියෙල් සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසා නිදහස් වූවද නැවත මොල්ලිගොඩ වලව්ව කොල්ලකෑම හේතුවෙන් සිරභාරයට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලදී. එහිදී නැවත කෑගල්ලට පළා එන සරදියෙල්ව නිවසට භාර නොගත් නිසා සැඟවී සිටීම සඳහා ඔහු උතුවන්කන්ද නැමැති කඳු ගැටය තෝරා ගත්තේය.

මේ උතුවන්කන්ද කඳුගැටය කොළඹ මහනුවර පාරේ පිහිටා ඇති අතර බලකොටුවක ආකාරය ගනී. එය  මුහුදු මට්ටමේ සිට අඩි 1410ක් උස වන අතර සැඟවී සිටීමට හා මංකොල්ල කෑම සඳහා කදිම ස්ථානයක් විය.

මෙහිදී සරදියෙල් සිය සොරමුල සාදාගන්නා අතර එහිදී වඩාත් ළඟින් ඇසුරු කළේ මන්මලේ මරික්කාර් නැමැති තරුණයායි. සරදියෙල් ඔහුගේ සොහොයුරියට පෙම් කළ බවට කතාවකුත් එකල පැතිරී තිබුණි. ඒ සමඟම සිරිමලා, උක්කිඳු, හෙන්දා සහ නසර්දීන් යන සිංහල හා මුස්ලිම් පිරිසක් ද විය.

ධනවතුන්ගෙන් සොරකම් කරන ලද මුදල් දුප්පතුන් අතර බෙදා දීම නිසා සරදියෙල් අහිංසක ගැමි ජනතාව අතර මහා වීරයෙක් ලෙස ප්‍රසිද්ධ වුණු අතර ඉංග්‍රීසීන්ට තව තවත් බලඇණි යොදා ආරක්ෂාව තහවුරු කිරීමට සිදුවුණි.

1850 සිට 1860 දශකය වනවිට සරදියෙල් අසරණයින්ගේ වීරයා වූ අතර ලංකාවේ රොබින් හුඩ් නමින් විරුදාවලිය ලත් තැනැත්තා බවට පත් විය. මෙහිදී බ්‍රිතාන්‍යයන් විසින් ඔහුව අල්ලා දෙන කෙනෙකුට පවුම් 100ක් දෙන බවට ප්‍රසිද්ධ කර ඇත. මෙහිදී සරදියෙල්ගේම මිතුරෙකු වූ සිරිමලා පොලිස් ඔත්තුකාරයෙකු බවට පත්වී සරදියෙල් පාවා දෙන්නේ මුදලට ඇතිවූ දැඩි ගිජුකම නිසාවෙනි.

1964 මාර්තු 14 වනදා ඔහු මාවනැල්ල පාලම අසළ සොල්දර නිවසක සැඟවී සිටින බවට ආරංචි වූ පොලීසිය එම නිවස වටලන ලදී. මේ ඔත්තුව ලබා දෙන්නේ සිරිමලා විසිනි. මෙහිදී සරදියෙල්ගේ කල්ලිය හා පොලිස් නිලධාරීන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවේ දී සරදියෙල්ගේ කකුලට වෙඩි වැදුණු අතර පොලිස් කොස්තාපල් “සභාන්” නම් තැනැත්තා මන්මලේ මරික්කාර්ගේ වෙඩි පහරින් මරණයට පත්වුණි. මෙම වෙඩි හුවමාරුවේදී සරදියෙල් සහ මන්මලේ මරික්කාර් පොලිස් අත්අඩංගුවට පත්විය.

සරදියෙල්ට විරුද්ධ නඩු විභාගය පවත්වා තිබුණේ 1864 අප්‍රේල් මස 07 වන දිනයි. මහනුවර අධිකරණයේ දී 13න් දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් ඉදිරියේ කළ මේ නඩු විභාගයෙන් සරදියෙල්ට සහ මන්මලේ මරික්කාර්ට මරණීය දණ්ඩනය නියම කෙරුණි.

වයස අවුරුදු 32ක් වැනි තරුණ වියේදී සිංහල රොබින් හුඩ් මහනුවර අලුත් පාර ඉදිරිපිට එල්ලා මරණ ලදී. ඒ 1864 මැයි 04 වන දිනදීය. එහෙත් මේ එල්ලා මැරූ ස්ථානය සහ එල්ලා මරණ ලද දිනය ගැන නොයෙක් මතවාද පවතියි. ඇතැම් තැනක සඳහන් වන්නේ එය සිදුවන්නේ මැයි 07 වන දින බවටයි. සරදියෙල් එල්ලා මැරීමට පෙර බෞතීස්ම කර ක්‍රිස්තියානි ආගමට හරවා ගත් බවට ඉතිහාසයේ සඳහන් වේ. ලංකා රොබින් හුඩ් හෙවත් සූර සරදියෙල් එදින 9 පසුවී පැය බාගයක් ගත වූ පසුව කටුගස්තොට පාරේ සොහොන් බිමක වළ දැමූ බව සඳහන් වේ. 

මෙහිදී විශේෂිත කරුණු කීපයක්ම සිදුවී තිබුණි. සරදියෙල් අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කළ පොලිස් නිලධාරියාට උසස්වීමක් ලැබුණු අතර මියගිය සභාන් වෙනුවෙන් ඔහුගේ බිරිඳට ජීවිතාන්තය දක්වාම මාසිකව පවුම් දෙකකුත් සිලිං හයක් ගෙවීමට රජය තීරණය කර තිබුණි.

රාජකාරිය ඉටුකිරීමට යාමේදී මන්මලේ මරික්කාර්ගේ වෙඩි පහරින් සභාන් නැමැති පොලිස් නිලධාරියා මිය යාම ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ක්‍රියාන්විතයකදී පළමු වරට පොලිස් නිලධාරියෙකු මිය යාම ලෙස සටහන් වේ. ඒ සරදියෙල් අල්ලා ගත් 1864 මාර්තු 21 වන දිනයයි. 

අදටත් මාර්තු 21 දිනය පොලිස් විරු දිනය ලෙස සමරනු ලබන්නේ මෙම කරුණ පදනම් කරගෙන ය. සේවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පොලිස් නිලධාරින් අනුස්මරණය කිරීමත් උපහාර පිදීමත් මෙම දිනයේදී සිදු කරනු ලබයි. 

සභාන් සිහිවීම සඳහා මාවනැල්ල තරුණ බෞද්ධ සංගම් ගොඩනැගිල්ල අසළ කළුගල් පුවරුවක් ස්ථාපිත කර ඇති අතර එය මෙරට පොලිස් වීරයෙකු සිහිවීම සඳහා ඇති පැරණිතම මූලාශ්‍රය ලෙස ඉතිහාස ගතවේ.

දැනටත් මාර්තු 21 වන දිනය පොලිස් විරු දිනය ලෙස සමරන අතර මෙවර 161 වන පොලිස් විරු සැමරුම් උත්සවයේ ප්‍රධාන වැඩසටහන පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන රණවිරු ස්මාරකය අභියස දී පවත්වන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *