අජිත්ලාල් ශාන්තඋදය
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් 27දා ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් මගින් මේ බව සදහන් කරයි.
එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරිම අප්‍රේල් 07දා සිදුකරනු ලබයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස්ථාන, විශේෂ කාර්ය බලකාය, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ කොට්ඨාස වල සේවය කරන නිලඇදුම් කාර්ය මණ්ඩල සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අප්‍රේල් 22දින තැපැල් ඡන්ද සලකුණු කළ හැකිය.
ත්‍රිවිධ හමුදා කදවුරු සහ සෙසු සියලුම රාජ්‍ය ආයතන සේවකයින්ට අප්‍රේල් 23 සහ 24 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කළ හැකිය. ඉහත සදහන් කළ සියලුම ආයතනවල සේවය කරන එහෙත් ඒ ඒ ආයතන වෙනුවෙන් වෙන්කරන ලද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කළ නොහැකිවු තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී අප්‍රේල් මස 28 සහ 29 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සිය නිවේදනයෙන් අවධාරණය කරයි.

ඡායාරූප කැප්සන්:
අදාල මාධ්‍ය නිවේදනය