පසුගිය 27 වනදා සිට මෙරට පිළිකා රෝග ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් ඇති බව හෙළි වී තිබේ.
මෙම හෙළිදරව්ව කර ඇත්තේ රුධිර පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ,ශ්‍රී ලංකා පිළිකා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේඛකාධිකාරී විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා විසිනි.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ බොන බෙහෙත් වර්ග දෙකක සහ විදින බෙහෙත් වර්ග පහක හිඟයක් පවතින බව ඔහු කීවේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුබද්ධිත ආයතනයක පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් බොන බෙහෙත් 28ක් සහ විදින බෙහෙත් 33ක් පිළිකා ප්‍රතිකාර සම්බන්ධයෙන් තිබිය යුතුම ඖෂධ ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් NMRA සහ SPC ආයතන එක්ව පෙර කී පිළිකා ඖෂධ හිඟවීම වලක්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් රජයේ පූර්ණ අවධානය මේ හිඟය වළක්වා ගැනීමට යොමුවී ඇති බවත් විශේෂඥ වෛද්‍ය බුද්ධික මහතා කියයි.
දැනට පවතින මේ පිළිකා ඖෂධ හිඟයට සංකීර්ණ කරුණු කිහිපයක් බලපා ඇතැයි පවසන විශේෂඥ වෛද්‍ය බුද්ධික මහතා පෙන්වා දෙන්නේ ,ඖෂධ ආනයනය ,සැපයුම් ක්‍රියාවලියේ ලියාපදිංචි ක්‍රියාදාමයේ ඇති විය හැකි කරුණු මේ හිඟයට හේතු විය හැකි බවයි.
මේ අතර තවත් විශේෂ කරුණක් කෙරෙහි ඔහු අවධානය යොමු කරයි..
පිළිකා ස්වයං ඇට මිදුළු බද්ධය වෙනුවෙන් එක් රෝගියෙකුට රජයට දැරීමට සිදුවන වියදම රුපියල් මිලියන දෙකකි. බාහිර පාර්ශවයකින් ඇට මිදුළු බද්ධ කිරීමේදී රජයට දැරීමට වන වියදම රුපියල් මිලියන 05 කි.
එහෙත් මේ වෙනුවෙන් කඩිනමින් සේවා ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රෝගීහු විවිධ රටවලට යති.එම රටකදී මේ වෙනුවෙන් එක් රෝගියෙකුට දැරීමට සිදුවන වියදම රුපියල් මිලියන 10 ක් පමණ වෙයි.
ඒ නිසා ශ්‍රී ලංකාවේ තෝරාගත් ස්ථාන කීපයක පමණක් හෝ (විශේෂඥ වෛද්‍යවරුන් හා අනෙක් සම්පත් ද සාපේක්ෂව හිඟ බැවින්) පරිපූර්ණ ඇට මිදුළු බද්ධ කිරීමේ මධ්‍යස්ථාන අරඹන්නේ නම් ඉන් රටේ ධනය ඉතිරි කර ගැනීමත් ,මහජනතාවට පහසුවකුත් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍ය බුද්ධික මහතා පෙන්වා දෙයි.
එල්. නදීෂා