පිරිමින් පසුපස එන බෝදිලිමා

සංජීවනී පද්මසේන

කාලය තත්පරයෙන් තත්පරය තටු ලැබී ඉගිල යද්දී ලෝකය තාක්ෂණය අතින්ද, විද්‍යාව අතින්ද බොහෝ දියුණුවට පත්වී ඇත. ඒ සමඟම සමාජයීය, පාරිසරික හා සංස්කෘතිකමය වශයෙන් ද බොහෝ දේවල් වෙනස් වී තිබේ. අද වනවිට පාළු මංමාවත් දුලබය. ඉතා කෙටි දුරක්වත් පයින් යන්නන් අවමය. නාන තොටවල්, තුංමංසලවල් පාළු මංකඩවල්, රූස්ස ගස්, යදම් ලෙස වැල් එල්ලුනු භයනක නුග ගස් ගම් ආශ්‍රිතව හෝ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. 

එකල්හි මේ පාළු කැළෑබද පෙදෙස්හි මූකලාන්, නුග ගස්, නානතොටවල් ආශ්‍රිතව බොහෝ ජනප්‍රවාද, අද්භූත හොල්මන් කතා, පෙරේත දිෂ්ටි, යකුන්, භූතයන් ගැන විස්වාසයන් ගොඩනැගී තිබුණි. එලෙස ඒ ජනප්‍රවාද අතරට එක්වූ තවත් විශ්වාසයක් වන්නේ “බෝදිලිමා” හෙවත් “බෝදිලියා” ගැන ගම්මුන් අතර ප්‍රකටව තිබූ ජනප්‍රවාදයයි. 

බෝදිලිමා යනු පිරිමින් පසුපස හඹා එන ගැහැණු ආත්මයක් බව පැවසේ. පාළු මූකලාන් දෙසින් අතිශය භයනක විලාපයක් සේ ඇසෙන බෝදිලිමාගේ හඬින් එකල්හි පිරිමින් බයින් තැතිගැන්වෙයි. උලමාගේ විලාපය මෙන්ම මේ හඬද මැදියම් රැයේ ඇඟ ලොමු ඩැහැගන්වමින් වනපෙත මතින් ගම්මානය කරා ඇදී එන්නට පටන් ගනියි. එහෙත් උලමාගේ හඬ මෙන් උස් තුරු මතින් නොව බෝදිලිමාගේ හඬ ඇසෙන්නේ පහත් බිම් මට්ට්මෙනි.

මෙවිට ගම්බද නිවෙස්හි වීරවරිය වන්නේ එහි කාන්තාවයි. පිරිමින් වහා ගෙතුලට යවන කාන්තාව රැජිණියක සේ ඉලපත (එකල ගෙබිම ඇමදීම සඳහා භාවිතා කරන ලද්දකි) රැගෙන එළියට බැස නොසරුප් වචන කියා බැන වදිද්දී බියට පත්වන බෝදිලිමා වහා පළා යයි. මෙහිදී කාන්තාවට නිරායාසයෙන්ම වීරත්වයක් ආරෝපණය වෙයි.

බෝදිලිමා බිහි වීම පිළිබඳ කතාව ද අපූරු ජනප්‍රවාදයකි. බොහෝ ඉස්සර කාලයේ තරුණ අඹුසැමි යුවලක් විවාහපත්ව සිටියදී තරුණ බිරිඳ ගැබිණියක් වූවාය. කුමක් හෝ අවාසනාවකට දරුවා ගැබ තුළම මියගිය අතර අනේකවිධ වධ වේදනා විඳි මවද ඒ සමඟම දිවියෙන් සමුගත්තාය. මෙහිදී මව මියයන්නේ තමාව ගැබ්බර කළ ස්වාමියා සමඟ වෛරයෙනි. එසේ වෛර බැඳගෙන මියගිය කාන්තාව බෝදිලිමා නම් යක්ෂණිය වී උපත ලබා පළිගැනීම සඳහා පිරිමින් පසුපස පන්නා එන බව එකල්හි ගැමියෝ විශ්වාස කළහ. පිරිමින්ට වෛර කරන මෙම නපුරු ආත්මය ගැහැණුන්ට බිය වී පළා යයි.

සමහර ප්‍රදේශවල පවසන්නේ පිරිමියෙකු වුවද “සබ්බ පාපස්ස අකරණං” ගාථාවෙන් අත්ලට මතුරා හඬ එන දිසාවට අත දිගු කළ විට බෝදිලිමා බියෙන් පළා යන බවයි. 

ඉතා දක්ෂ කට්ටඩියෙක් විසින් තෙල් ටිකක් ජීවම්කර දුන්නහොත් මෙම බෝදිලිමා ආත්මයෙන් ඇයට මිදිය හැකි බවක් පැවසේ. එහෙත් ඇයට බයේ පිරිමින් පළා යන නිසා කෙදිනකවත් එම අත්මයෙන් ගැළවීමක් නම් බෝදිලිමාට නොමැත්තේය.

1950 වැනි අතීත කාලයේදී රජරට, හත්කෝරළය, වන්නිහත්පත්තුව වැනි ප්‍රදේශවල මළසිරුරු එම්බාම් කරන ක්‍රමවේදයක් නොතිබුණි. එකල්හි එම ජනතාව ගැබිණි මවක් මියගිය පසු බුලත් කොළයක් දෙකට ඉරා උදරය මත තබා ඇය වළ දැමූයේ බෝදිලිමා ආත්මයෙන් ඇය මිදෙනු ඇතැයි විස්වාසයෙනි. 1960 දශකය වනතෙක් පැවති මේ ක්‍රමය අහෝසි වූයේ ඒ වනවිට එම්බාම් ක්‍රමය පැමිණ තිබුණු බැවිනි.

මෙලෙසින්ම ලංකාව ගැන දීර්ඝ විස්තරයක් ලියූ රොබට් නොක්ස් ද මෙම යක්ෂ හඬ අසා ඇති බවත් ඔහුගේ පොතක සඳහන් කර ඇත. H.P.වේල්ස්, R.L.ස්පිට්ල් පමණක් නොව බැද්දේගම කතෘ ලෙනාඩ් වුල්ෆ් පවා බෝදිලිමා ගැන සිය ග්‍රන්ථයන්හි සඳහන් කර ඇත.

ජනප්‍රවාද කෙසේ වුවත් විද්‍යාත්මකව නම් මේ බෝදිලිමා කටුසු විශේෂයකි. වියළි කලාපය ආශ්‍රිතව සුලබව දක්නට හැකිවන අතර ශරීර ප්‍රමාණයෙන් තරමක් ලොකු කටුස්සෙකි. පරිසරයට අනුවර්තනය වීම සඳහා වරින්වර පැහැය වෙනස් කරන chameleon zeylanicus නම් මේ කටුසු වර්ග 183ක් පමණ ඇතිබව විද්‍යාඥයින්ගේ මතයයි. කෘමීන් හා කුඩා සතුන් ආහාරයට ගනියි. විශාල ගෝලාකාර ඇස් ස්වාධීනව ක්‍රියාකරවීමේ විශේෂ අනුවර්තනීය හැකියාව ඔවුන් සතුයි. වියළි බිම හාරා වරකට බිත්තර 10 සිට 31 දක්වා ප්‍රමාණයක් දමයි.

බොහෝ බෝදිලිමුන්ගේ හිස මත අඟක් හෝ ඔටුන්නක් වැනි පිහිටීමක් ද, පිට දිගේ මෝරෙකුගේ වරල් වැනි කොටස් කිහිපයක් ද දැකිය හැකිය. කටු පඳුරු සහිත කැළෑ බිම්වල වාසස්ථානයට කැමති බෝදිලිමෝ සෙමින් සංචරණය කරන්නෝය. පිළිමල් ඇඟිලි හා පරිග්‍රාහී අවයවයක් ලෙස වල්ගය ද යොදාගනිමින් ගස්වැල් මත ධාරණය වී සිටියි. එකල්හි හිස වනමින් සිටින බෝදිලිමෙකු දුටු විට පැරණි වැඩිහිටියෝ ඌ පවසා සිටින්නේ “කොල්ලෝ වළලං-කෙල්ලෝ ගෙට ගං” යනුවෙන් යැයි කීමට පුරුදු වී සිටියහ.

උදේ දහයත් එකොළහත් අතර කාලයේ ඉතා ක්‍රියාශීලී බෝදිලිමන් අනෙක් අවස්ථාවල උදාසීන ලෙස හැසිරෙන බව කියැවේ. කෙසේ වෙනත් දෙහිවල සත්තු වත්තේ බෝදිලිමා නාම පුවරුව යටතේ ඉන්නා කටුස්සා නම් ගොළුවෙකු සේ බොහෝ නිහඬ අතර අතීතයේ ලෙස මරහඬ දී අදෝනා නගනවා නම් කිසිවෙකුත් අසාතිබෙනවා දැයි සැක සහිතය.

කෙසේ වෙතත් තාක්ෂණයෙන් සහ විද්‍යාවෙන් බොහෝ දියුණු මේ කාලයේදී අදෝනා නඟන බෝදිලිමෙකු දකින්නටවත්, ඉලපත රැගෙන එළියට බසින කාන්තාවක් දැකීමටවත් නැත.

එකල්හි ස්ත්‍රී දූෂණ, කාන්තා අපචාර, ගැබ්ගත් කාන්තාවන් මරා දැමීම, ගෘහස්ථ හිංසනය ආදී කාන්තාවන්ට එරෙහි බිහිසුණු කටයුතු බොහෝ අවම විය. ඒ සඳහා මේ බෝදිලිමා සංකල්පයෙන් යම් පිටුවහලක් ලැබෙන්නට ද ඇත. පිරිමින්ගේ රාගයට නතු වී දරුගැබක් සහිතව ඝාතනය වන්නට කාන්තාවන්ට සිදු නොවන්නට ඇත. එසේ කිරීමට මේ සංකල්පය නිසාම පිරිමින් බොහෝ බිය වන්නට ඇත. එසේම මැදියම් රැයේ තමා පසුපස පන්නා එන බෝදිලිමා ශාපයෙන් මිදෙන්නට කාන්තාවගේ රැකවරණය පිරිමියාට අත්‍යාවශ්‍ය වන්නට ඇත. එවිට නිවසේ වීරවරිය කාන්තාව වූ අතර නිතැතින්ම පිරිමියාගේ ගෞරවය ඈට ලැබීමෙන් ගෘහස්ථ හිංසනය වැනි අකටයුතුකම් මැඬපැවැත්වෙන්නට ද ඇත.

ඉතින් බෝදිලිමා ශාපය එක් අතකට ගැහැණුන්ට ආරක්ෂාව සැපයූ ජනප්‍රවාදයක් වූ බව අමතක කළ නොහැක. පුරාණ ගම්වල තිබූ මේ සංකල්පය හරහා කාන්තාවන්ගේ ගෞරවය හා ආරක්ෂාව කෙරෙහි ලැබී තිබූ පිටිවහල බැහැර කිරීමට නොහැකි තරම් උසස්‍ ය. එකල්හි කාන්තා දින සැමරුම් නොතිබුණ ද කාන්තාව ආරක්ෂා වී තිබුණේ මෙවන් සංකල්පයන් නිසා වීමට ද හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *