පැලෑනේ ඉදි කෙරෙන හෝටල් බිමක ඩෙංගු වගාවක්

වැලිගම  තරංග ගුණරත්න 

වැලිගම පැලෑන ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සංචාරක හෝටලයක සේවය කරනු ලබන සේවකයන් පිරිසකට ඩෙංගු රෝගය හට ගැනීම නිසා  එම පරිශ්‍රය  අවට    ක්‍රමවත් ලෙස පිරිසිදුව පවත්වාගෙන යාමට උපදෙස් ලබා දුන් බවත් එසේ නොමැති නම් අදාල ඉදිකිරීම් ආයතනයට එරෙහිව  අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල  ප්‍රදේශයට අයත්   පැළෑන ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සංචාරක හෝටලයක   සේවකයන් තිහකට (30)  ආසන්න පිරිසකට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට ආරංචි මාර්ග පවසයි.
එම සේවකයන් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර  එම පිරිස  දෛනික වැටුප් මත මෙම ආයතනයේ සේවය කරති .ඔවුන්  වැඩ බිමෙහි සේවය කරමින් සිටියදී ඩෙංගු රෝගය වැළඳී ඇති බවත් ඇතැම් පිරිස් රෝහල් ගතවීමකින් තොරව පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත යොමු වී ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් කියැවේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව  වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  කාර්යාලයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියකු පවසාා සිටියේ  ඩෙංගු රෝගීන් යම් ප්‍රමාණයක්  සිටින බව පැවසුනද, රෝගීන්  දෙදෙනෙකු පිළිබඳව පමණක්  වාර්තා වන බවය.
තවද මෙම ආයතනයේ  ඉදිකිරීම් සඳහා යොදා ගන්නා ජල ටැංකි සහ එම අවට පරිශ්‍රය දැඩි ලෙස අපිරිසිදු  තත්ත්වයක පවතී. එය ක්‍රමවත් ලෙස පිරිසිදු කිරීමට දින දෙකක කාලයක් ලබාදී ඇත.  එය නිවැරදි කිරීමට අපොහොසත් වුවහොත් එම ආයතනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එම ප්‍රකාශකයා හෙළි කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *