පැරණි සිරිත් රකිමින් ඇරඹෙන ලග්ගල බීජ සංරක්ෂණ ක්‍රියාවලිය

 

නාඋල – ඉන්දික අරුණ කුමාර

මාතලේ – ලග්ගල වූ කලී ලංකාවේ සුවිශේෂි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකි. උතුරින් නාඋල හා ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන්ද දකුණින් මහනුවර හා නැගෙනහිරින් විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් ද ලග්ගල මායිම් වී තිබේ.

බටහිරින් අඹන්ගඟ කෝරලයත් රත්තොටත් මායිම් කරගත් මේ සුවිශේෂි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වනාහි රාවන ඉතිහාසය හා බැදෙන්නේ කරුණු කාරණා ගණනාවක් නිසාවෙනි.

මෙහි ජීවත්වෙන්නන්ගේ ඉතා සරළ ජීවන රටාවකට හුරුවී සිටීම මෙන්ම සාම්ප්‍රදායික හේන් ගොවිතැනින් ජීවිකාව ගෙන යෑම වැනි කාරණා අදටත් මේ ගම්මාන වල සුළු වශයෙන් දැකගත හැකිය.

සංවර්ධනයේ අරුණළු වැටෙමින් පවතින ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් රණමුරේ හා නාරංගමුව ආදී ගම්මාන වල බොහෝ පිරිසක් නූතනත්වය වැළඳගනිමින් සිටිති.

එහෙත් තවමත් පැරණි ක්‍රමවේද ඔස්සේ සරළ ජිවිකාවන් ගෙවන්නෝ රණමුරේ හා නාරංගමුව ගම් වල සොයා ගැනීම අපහසු නැත.

වසරේ කන්න දෙකක් කුඹුරු ගොවිතැනින් දිවි සරිකර ගන්නා මේ ගැමියෝ අතර මැදි කන්නයක හේන් වගා සිදුකරති.

වසර මුළුල්ලේ නොනැවති ගලා බසින දිය කඳුරු මේ මිනිසුන්ට මහත් අස්වැසිල්ලකි.

හේනේ අස්වැන්න ගෙට ගෙනෙන තෙක් අනේක විද දුක්ඛ දෝමනස්සයන් විඳින මේ ගැමියන් ඒවා අළුයම ලු කෙලපිඩක් සේ සලකති.

කුරක්කන්,බඩඉරිගු,මුං,තල,මිරිස්,වට්ටක්කා,වැටකොළු ආදී බොහෝ දෑ ඔවුහු වගා කරති.

පැරැන්නන් විසින් ආරක්ෂා කරගෙන ආ විවිධ ශාන්තිකර්ම මෙන්ම විවිධ ඇදහිලි ක්‍රම අදටත් ලග්ගල ගැමියා තුළින් දැක ගත හැකිය.

අද ඔබට අප කියන්නට සැරසෙන්නේ මේ ගැමියන්ගේ ආහාර මෙන්ම බීජ කල් තබා ගන්නා ක්‍රමවේදයන්ය.

ඉපැරණි ශීෂ්ඨාචාරයකට උරුමකම් කියන පැරණි ගැමියන් විසින් සරළ මෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ බිජ කල්තබා ගැනීම් සිදුකර ඇති බවට ඉතිහාසයෙන් බොහෝ සාක්ෂි සපයාගත හැකිය.

අස්වනු නෙළා නිවසට රැගෙන ආ පසු එවා එක්වර ආහාරයට නොගන්නා ගැමියා ඉන් කොටසක් දෙවියන් බුදුන් උදෙසා පුද කරනු ලබයි.

ලග්ගල එය හදුන්වනු ලබන්නේ ‘ අඩුක්කු පිදීම ‘ යනුවෙනි. ගමේ එක ස්ථානයකට එක්වන ගැමියන් විසින් සිය අස්වැන්නෙන් කොටසක් රැගෙන එනු ලබයි.

එකම තැනක හිඳ එක්ව පිළියෙල කර ගන්නා දේ දානය අඩුක්කු පිදිම ලෙස ලග්ගල ගැමියා විසින්  හදුන්වනු ලබයි.

සනුහරේ නෑ යකුන් පිදීම,බණ්ඩාර දෙවියන් හෙවත් රාවනා දෙවියන් පිදිම මෙහිදි සිදුකරනු ලබයි.

වදුරු වසංගත වලින් ගම්මාන ආරක්ෂා කර ගැනිම මෙන්ම වන සතුන්ගෙන් වන උවදුරු නැති කර ගැනීම අඩුක්කු පිදීමේ අරමුණ වෙයි.

වැසි සමය ළං වන්නට පෙර හේනෙන් ගෙනා ධාන්‍ය වියළා ආරක්ෂා කර ගැනිම මෙන්ම වැඩි කොටස් අලවි කර නිවෙස් වලට අවශ්‍ය බඩුමුට්ටු රැගෙන ඒම වැනි කටයුතු ගැමියන් විසින් සිදුකරනු ලැබේ.

එදිනෙදා දිවියට අවශ්‍ය බොහෝ දේ සිය ගෙවත්තෙන් සපයා ගන්නා ලග්ගල ගැමියෝ ලුණු,ලාම්පුතෙල්,කරවල,සබන් වැනි දෑ පමණක් කඩවලින් මිල දී ගනිති.

එළවලු මෙන්ම පළතුරු ද ධාන්‍ය ද ඇති තරම් පවතින මේ ගැමි ගෙවල් වල ආහාර රටාවන්ද ඉතා සරළය.

උදේට හීල් බත් කා හේනට හෝ කුඹුරට යන ගැමියා යළි නිවෙස් වලට එන්නේ රෑ බෝවෙලාය.

ගමේ ඇති ගල්පිහිල්ලෙන් නා අහවර වී හෙට සිදුකල යුතු දෑ සැකච්ඡා කරන්නේ ද එම ස්ථානයේ දීමය.

අදටත් නිරුපද්‍රිතව පවතින රණමුරේ ගල්පීල්ල අසල සටහන්ව ඇති මේ කවිය ඊට කදිමට උදාහරණ සපයයි.

‘ අන්න අර බලන් නානා                             සියල්ලා 

 තැන්න ගල වටට                                      යවුල්ලා

 ගොන්න එක වරට නැගගෙන          වරෙල්ලා

 රණමුරු ගමට නායක ගල්             පිහිල්ලා ‘

නිවෙස් වලට පැමිණෙන ගැමියන්ගේ බොහෝවිට ආහාරය වන්නේ කුරක්කන් පිට්ටු හෝ තලපය.

බඩඉරිගු වලින් අග්ගලා සැකසීම,තල හා කුරක්කන් වලින් විවිධ කෑම වර්ග සැකසීම ලග්ගල ගැමියා  විසින්අදටත් සිදුකරනු ලබයි.

අහාර කල්තබා ගැනීම සේම, බීජ කල් තබා ගැනීම ලග්ගල ගැමියා විසින් නිවැරදි ලෙසටම ඉටුකරනු ලබයි. ඊට හේතුව වී ඇත්තේ ඊළග කන්නය සඳහා අවශ්‍ය බීජ තමන් විසින්ම සකසා ගැනීම සිදුකළ යුතු බැවිනි .

දර ලිපට උඩින් සැකසු දුම් මැස්ස අතීතයේ තට්ටු තුනකින්  පැවති බව ලග්ගල ගැමියෝ අපට කීහ.

නිතර දැල්වෙන ලිපේ දුම්මැස්සේ පළමු තට්ටුවේ දඩමස් දමන අතර දෙවැනි තට්ටුවේ ගොඩ ගසා ඇත්තේ දරය. අවසන් තට්ටුවේ ලබන කන්නයට ගැනීමට වියලන ධාන්‍ය වර්ග පවතියි.

අද වන විට දඩමස් නොමැති අතර, දුම් මැසිවල සැකැස්ම තට්ටු තුනකට වීම පැරණි ගැමියාට අනුව සම්මත ක්‍රියාවලියකි.

කාලයේ ඇවෑමෙන් එවැනි දුම් මැසි ලග්ගල ඇත්තේ බොහෝ කළාතුරකින් බව ද වත්මනේ ලග්ගල වැසියෝ අපත් සමග කියා සිටියෝය.

වසර ගණනාවක ඇවෑමෙන්, පරිවර්ථනීය යුගයක් පසුකරමින් සිටින ලග්ගල ගැමීයාගේ පැරණි ක්‍රමවේද ක්‍රමිකව වියැකී ගියද ,තවමත් ඉන් කොටසක් හෝ පවත්වා ගැනිමට නූතන පරම්පරාව පියවර ගැනීම ද සතුටට කරුණකි.

හේනෙන් ගෙනා සිය අස්වැන්න මිදුලේ කිහිප වරක් වේලා නිවසේ වියළි ස්ථානයක ගැටගසා තැබෙයි. මෙම ධාන්‍ය වර්ග වලින් ඔවුහු එළැඹෙන කන්නයට බිජ සකසා ගනිති.

 ඉතිරිය පවුලේ ආහාර අවශ්‍යතාවන්ට යොදා ගනිති.

ලග්ගල පැරැන්නන් කියා සිටියේ පැරණි ක්‍රමවේද ඔස්සේ අද වන විට හේන් ගොවිතැන් කිරිම දුෂ්කර කාර්යයක් බවට පත්වි ඇති බවයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නිති රිති ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ද ඔවුහු කියා සිටියහ.

කැලෑ එළි පෙහෙලි කිරිම දඬුවම් ලැබිය යුතු වරදක් බවට පත්වීමත් සමග තමන්ට හිමි භූමි වල පමණක් වගා කටයුතු සිදු කිරිමට ගොවිහු මේ වන විට  පෙළඹි සිටිති.

කෙසේ වෙතත් නකල්ස් අධි සංවේදි පරිසර පද්ධතියේ සිට ඈත් වන්නට පිහිටි භූම් වල එවැනි නීතියක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ලග්ගල ගැමියා තුළ විරෝධයක් ද නොපවතියි.

ඊට හේතුව වි ඇත්තේ වර්ථමානය වන විට ජනයාගේ අවශ්‍යතා වැඩිවීම මෙන්ම යැපුම් කෘෂිකර්මාන්තය වානිජ මට්ටමට පැමීණ තිබිම ආදි කරුණු ගණනාවක් අද වන විට ලග්ගල ගැමියා වටහාගෙන ඇති බැවිණි.

වසර ගණනාවකට පෙර ලග්ගල ගම්මාන රැසක ජනයා එනසාල් වගාවන්ට නැඹුරු වී සිටි බවත් , පසුකාලීනව එනසාල් වගා කළ භූමි රජයට පවරා ගැනීමත් සමග ලග්ගල ගැමියන් විවිධ වගා කටයුතු සිදුකළ බවත් අපට කිවේ දුම්බර මිතුරෝ පරිසර සංවිධානයයි.

එහි උපදේශක ආනන්ද කනහැර ආරච්චි මහතාට අනුව සාම්ප්‍රදායික ගැමී ජිවන රටාවන්ට හුරුවු ලග්ගල ගැමියා වනාහි ඓතිහාසික ජන මුලාශ්‍ර රැසක් සගවාගත් පිරිසකි.

ඓතිහාසික රාවන පුවතට මෙන්ම, කුවේණියගේ නෑ පරපුර ලෙසටත් හැදින්වෙන ලග්ගල ගැමියා පිළිබද පර්යේෂණ රැසක් සිදුකිරිමට නියමිත බව ද හෙතෙම කියා සිටියේය.

වසර පන්දහසකට වැඩි ඉතිහාසයක සිට පැවැත එන පිරිසක් යැයි හදුන්වනු ලබන ලග්ගල ගැමියා මෙන්ම ඔවුනගේ ජීවන රටාවන් පිළිබඳ වෙනමම අධ්‍යනයක් සිදුකළ යුතු බව ද ආනන්ද කනහැර ආරච්චි මහතා කියා සිටියේය.

වසර ගණනාවක් පුරා හේනේ කුඹුරේ දිවි ගෙවනා මේ මිනිසුන් නිරෝගිමත් පිරිසක් බව ද මෙහිලා කිව යුතුය.

ඊට හේතුව වී ඇත්තේ ක්‍රමවත් ආහාර රටාව මෙන්ම සැහැල්ලු මනසකින් ජිවිතය ගත කිරිම බව සඳහන් කළ හැකිය.

වනයේම ගහ කොළ සිය ජිවිතයේ කොටසක් බවට පත් කරගත් ලග්ගල ගැමියා බාහිර කරදරවලින් ඈත්වී සිටිම ද ගුණාත්මක සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට ඉවහල් වී ඇතැයි සිතිය හැකිය.

වසරක් පාසා මහපොළව සිපගන්නා අහස් වැස්සෙන් වගා කටයුතු සිදුකරන මේ ගැමියන්ට නකල්ස් කදුපන්තියෙන් නොකඩවා ගලා හැලෙන නොයිඳුල් දියදහර ද සිය වගා කටයුතු සරුකර ගැනීම සඳහා පිටිවහලක් වී තිබේ.

ආහාර කල්තබා ගන්නා ක්‍රමවේදයන් සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසීමේ දී ලග්ගල පැරණි ගැමියා භාවිත කළ විවිධ සංරක්ෂණ ක්‍රම මෙහිලා සටහන් කරන්නේ අපේ රටේ ආදී හෙළයන් තුළ පැවති කළමණාකරණය පිළිබද මතු පරපුරට කරුණු වටහා දීමේ අටියෙනි.

වසරේ එක් සමයකට සීමාවන සියඹලා,දෙහි මෙන්ම අල වර්ග ද ලග්ගල ජනයා කල් තබාගත් ආහාර වර්ග අතරින් කිහිපයකි.

සියඹලා ලුනු වල දමා අසුරා තබාගැනීම,දෙහි සිතල සහිත ස්ථානවල වලලා තැබීම,ලුනු දෙහි දැමීම,අල වර්ග පොළවේ වලලා තැබීම,දෙල් කොස් වැනි ගෙඩි විශේෂ කපා පවනේ හෝ දුමේ වේලා තබා ගැනීම වැනි කාරණා අදටත් ලග්ගල ගැමියන් තුළින් දැක ගත හැකිය.

ශීතකරණ හෝ වෙනත් නූතන කල් තබාගන්නා ක්‍රමවේද නොමැති සමයේ මස් හෝ මාළු වර්ග ද සති ගණනක් නරක් නොවි තබාගැනිම සදහා ලග්ගල ගැමියා භාවිත කළ ක්‍රම කිහිපයකි.

මාලු හා මස් වියළා තබාගැනීම,ලුනු වල දවටා කෙසෙල් හෝ කොලපත් (පුවක් කොළ) වල අසුරා තැබීම, තම්බා ලුනු දමා තබා ගැනීම වැනි ක්‍රම ඔවුන් භාවිත කර තිබේ.

අද වනවිට ද ලග්ගල බොහෝ ගැමියන් මේ ක්‍රම වේද එකක් දෙකක්., හෝ කිහිපයක් අනුගමනය කරන අතර එවා තුළින් අදටත් පැරණ්නන් විසින් ආරක්ෂා කරගෙන ආ ආහාර මෙන්ම බීජ කල්තබා ගත් ආකාරය ඔවුහු ඉදිරියටම රැගෙන යති.

 

ඡායාරූප

01 ලග්ගල ගැමියන් බිජ සංරක්ෂණ කටයුතු වලට සැරසෙන අයුරු- 005

02 ලග්ගල කුඹුරු-001

03 ලග්ගල කුරක්කන් වගාවක් – 006

04 ඓතිහාසික රණමුරේ ගල් පීහිල්ල – 002

05 ලග්ගල ගැමියන්ගේ කුස්සිවල ඇති කුළුබඩු වර්ග අසුරා ඇති පිළිවෙල-007/008

06 රණමුරේ ඓතිහාසික ගල් පිහිල්ලට ඇති කවිය. 009

Leave a Comment

Your email address will not be published. Required fields are marked *