අජිත්ලාල් ශාන්තඋදය
කුරුවිට පොලිස් වසමට අයත් එරත්න ලස්සකන්ද ප්‍රදේශයේදී පාසල් ළමයින් රැගත් වැන් රථයක් අනතුරකට ලක්වීමෙන් දරුවන් පහළොස් දෙනෙක් තුවාල ලබා එරත්න ප්‍රාදේශීය රෝහලට අද (03) උදෑසන ඇතුළත් කර ඇත.
ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල නිසා ඔවුන් වහාම රත්නපුර ශික්ෂණ මහ රෝහල වෙත මාරුකළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
වෑන් රථය අනතුරට පත්වන අවස්ථාවේ හත්වන ශ්‍රේණියෙන් පහළ ඉගෙන ගන්නා දරුවන් විසි දෙනෙක් පමණ සිටි බව අනතුර සැලවු වහාම එහි ගිය ලස්සකන්ද ග්‍රාම නිලධාරී පී.කේ. තේජිත එරන්ද විමලපසේන මහතා පැවසුවේය.
අනතුර සිදුවු ස්ථානයට කිලෝමීටර් තුනක් පමණ ඈත බෝටියාගල ප්‍රදේශයෙන් වාහනය ගමන් අරඹා තිබුණි. විතාරම්පංගුව, ලස්සකන්ද ආදී ප්‍රදේශවල දරුවන් අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ සිටි බව ද ග්‍රාම නිලධාරිවරයා පැවසුවේය.
කඳු සහ බෑවුම් සහිත පමම මාර්ගයේ අනතුරට පත් වෑන් රථය පාරෙන් ඉවතට පැන මහෝගනී ගසක එහි ඉදිරි පස වැදි නැවති තිබුණි.
වැන් රථය දැඩිසේ දිරා ගිය එකක් විය. දොරවල්වල අගුල් නැත. එහි සමහර දොරවල් බැඳ තිබුණි. කැඩුණු වීදුරු වෙනුවට හාඩ්බෝඩ් කපා සවිකර තිබෙනු නිරීක්ෂණය විය.
ශිෂ්‍යත්වය සමත්ව රත්නපුර හා ඇහැලියගොඩ ප්‍රදේශයේ පාසල් වලට යන දරුවන් මෙන්ම එරත්න මහා විද්‍යාලයට හා යන එරත්න ආනන්ද ප්‍රාථමික විද්‍යාලයට යන දරුවෝ එහි ගමන් කරමින් සිටියහ.රත්නපුර සහ ඇහැළියගොඩ යන දරුවන් ලස්සකන්ද ජනපද හංදිය දක්වා ගමන් කර තිබුණේ එම වෑන් රථයෙනි.


