අජිත්ලාල් ශාන්තඋදය
නවසීලන්ත රග්බි ක්‍රීඩකයන්ගේ නමින් නව රක්ෂිතයක්
පරිසර සාක්ෂරතාවය සහ පරිසර ආකල්ප සංවර්ධනය කිරීමේ සහ නවසීලන්ත රග්බි ක්‍රීඩකයින්ට උපහාර දැක්වීමේ අරමුණින් කෑගලු බාලිකා විද්‍යාලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුර්ණ සහාය, නවසීලන්ත තානාපති කාර්යාලයේ අනුග්‍රහය මත කෑගල්ල දිසාවට අලුතින් රක්ෂිත වනාන්තරයක් එක් කිරීමට පියවර ගනී.
රඹුක්කන, බෙලිගොඩපිටිය ගම්මානයේ මීට වසර විස්සකට පමණ පෙර අත් හැර දමන ලද පාසල් භූමිය කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවෙයි. ක්ෂේත්‍රය හදුනාගැනීමේ චාරිකාවක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග පසුගියදා සිදු කෙරිණි. වඳවීගෙන යන ශාක සංරක්ෂණ කිරීමේ සංරක්ෂණ මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වෙයි.
එහිදී නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයින් නමින්, සිටුවන සෑම ගසක්ම නම් කරන බව නියෝජ්‍ය වන සංරක්ෂක මහාචාර්ය වසන්ත ලියනගේ මහතා පැවසුවේය.
”ඇත්තටම මෙය පාරිසරික සංචාරක ව්‍යාපාරයේ අලුත් අත්දැකීමක් වෙයි. මේ භූමිය හෙක්ටයාර් එකක් පමණ විශාලයි. රඹුක්කන නගරයට කිලෝමීටර් එකහමාරක් විතර දුරින් තියෙන්නේ. කෑගලු බාලිකා විද්‍යාලයට කිලෝමීටර් අටක් දහයක් දුර ඇති.”
”මේ වැඩපිළිවෙල ඉතාම වැදගත්. දරුවන්ගේ පරිසර සාක්ෂරතාවය සහ පරිසර ආකල්ප සංවර්ධනයට මේ ව්‍යාපෘතිය ඉතාම වැදගත්. මේ යෝජිත රක්ෂිතය තුළ ප්‍රදේශයට වඳවී යන සහ ආවේනික ශාක වර්ග තමයි සිටුවීමට සැලසුම තියෙන්නේ. ඒ භූමියේ අභාවයට ගිය පාසල් ගොඩනැගිල්ලක් තියනවා. සමහරවිට අනාගතයේදී ඒතැන දෙස් විදෙස් සංචාරකයන්ගේ ගිමන් නිවන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය වෙන්නත් ඉඩතියෙනවා.” මහාචාර්ය වසන්ත ලියනගේ මහතා කීවේ ය.
මේ වසමේ මැයි මාසයේ නවසීලන්ත රග්බි කණ්ඩායම ලංකාවට පැමිණිමට නියමිතය. මෙම යෝජිත රක්ෂිතයේ මුල්ම පැල රෝපණය සිදුවන්නේ එසේ පැමිණෙන නවසීලන්ත රග්බි කණ්ඩායම විසින් බවද මහාචාර්ය වසන්ත ලියනගේ මහතා සඳහන් කළේය.
”මේ ස්ථානය රක්ෂිතයක් කළාට පස්සේ අයිතිය තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. හැබැයි මේ ව්‍යාපෘතිය අනුව මුලින් ම තුන් වසරක කාලයක් මෙහි හිටුවන සියලුම පැල නඩත්තුව ගෙනියන්නේ කෑගලු බාලිකා විද්‍යාලය. ඒ අයගේ අදහසක් තියනවා ඒ නොකඩවාම ඉදිරියට ගෙනයාමට.”
” අවුරුදු විස්සක විතර කාලයක් තිස්සේ මේ භූමිය වල්වැදිලා තියෙන්නේ. එහි විවිධ ආක්‍රමණශීලී ශාකත් පැලවෙලා තියනවා. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ අනවශ්‍ය පැල හදුනාගෙන ඉවත් කිරිමට සැලසුම් කරනවා. හෙක්ටයාර් එකක මේ මුලු බිම් ප්‍රමාණයේ ශාක 1200ක් විතර හිටුවන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රමාණය ඒ විදියට ගත්තේ නවසීලන්තය නියෝජනය කළ රග්බි ර්‍කිඩකයන්ගේ ප්‍රමාණය සැලකිල්ලට අරගෙන. එතකොට ඒ හැම ක්‍රීඩකයෙක් නමින්ම පැලයක් මෙහි තියනවා. ජීවතුන් අතර නැති ක්‍රීඩකයින් විශාල පිරිසක් ඒ අතර වෙනවා. ඒ ක්‍රීඩකයන්ගේ පවුල්වල අයට ඇවිත් බලන්න පුලුවන්. මේක පාරිසරික සංචාරක කර්මාන්තයේ අලුත් මාවතක් වෙයි. රටට ඩොලර් ගෙනෙන දීර්ඝකාලීන වැඩපිළිවෙක් වේවි.” නියෝජ්ය වන සංරක්ෂක මහාචාර්ය වසන්ත ලියනගේ මහතා සදහන් කළේය.
මෙත් බෝ සෙවන නිර්මාතෘ තිත්තවැල්ලේ ආනන්දසිරි හිමියන් ඇතුලු Planet Protectors සංවිධානයේ සාමාජිකයින්, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය වනසංරක්ෂක මහාචාර්ය වසන්ත ලියනගේ, කෑගල්ල දිසා වන නිලධාරී සනත් මුණසිංහ, රඹුක්කන අඩවිවන නිලධාරී ආටිගල, ආසියානු රග්බි – ක්‍රීඩාව සහ පරිසරය පිළිබඳ සභාපති ගෲප් කපිතාන් නලින් ද සිල්වා, සමග කෑගලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි තුෂාරා ජයරත්න යන මහත්ම මහත්මීහු මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.
24-01 යෝජිත රකෂිතය ඇතුළත

24-02 නිරීක්ෂණ චාරිකාවට එක්වු පිරිස
