මොහොමඩ් ආසික්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලන වේදිකාව තුළ කතා බහට ලක්වීමට පටත් ගත්තේ මෙයට වසර ගණනාවකට පෙර සිටය. මෙම කතා බහ තුළින් බොහෝ අවස්ථාවන්වල ගම්‍ය වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා විශ්‍රාම වැටුප් ලබා දිම සිදු වන්නේ ලංකාවේ පමණක්ය යන්නත් ,ලක්ෂ ගණනක විශ්‍රාම වැටුපක් ඔවුන් ලබන බවත් ය. ඇත්ත වශයෙන්ම මෙය සත්‍යයක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන්නේ ලංකාවේ පමණක්ද? රුපියල් ලක්ෂ ගණනක විශ්‍රාම වැටුපක් ඔවුන්ට හිමි වන්නේද? තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරු මගින් මේ සම්බන්ධයෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන්නේ ලංකාවේ පමණක් නොවේ. ශ්‍රී ලංකාවට ප්‍රජාතාන්ත්‍රවාදය හඳුන්වා දුන් එංගලන්ත පාර්ලිමේන්තුවද ඔවුන්ගේ මන්ත්‍රිවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. එය ක්‍රම දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කරන අතර මන්ත්‍රීවරුන් සඳහා එක් ක්‍රමයකුත් ඇමතිවරුන් සඳහා තවත් ක්‍රමයකුත් එහි ක්‍රියාත්මක වෙයි. එයට අමතරව යුරෝපා සංගමයට අයත් බොහෝ රටවලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවිමේ ක්‍රමයක් නිර්මාණය කර තිබේ.
ලෝකයේ අනෙක් රටවල කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය පුරා ඇසුණු කතාව නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම අසාධාරණ බවත්, එය වහාම අහෝසි කළ යුතු බවත්ය. ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම අසාධාරණද?
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවනු ලබන්නේ එම පාර්ලිමේන්තුවේම සම්මත වී ඇති 1977 අංක 01 දරණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත සහ පසුව එයට එක් වූ යම් යම් සංශෝධන අනුවයි.
ඇත්තටම මන්ත්‍රීවරුන් කොපමණ විශ්‍රාම වැටුපක් ලබනවාද? 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරි , කාර්ය මණ්ඩල ප්‍රධානි සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවනු ලබන්නේ 1977 ජනවාරි මස හත් වනදා සිටයි.
2025 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 328 දෙනෙකු සඳහා සහ වැන්දඹු යැපෙන්නන් 189 දෙනෙකු සඳහාද විශ්‍රාම වැටුප් ගෙවා ඇති බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි. එම තොරතුරු අනුව ජනවාරි මාසයේදී හිටපු මන්ත්‍රිවරුන් 328 දෙනා වෙනුවෙන් රුපියල් 2,33.85,520. 77 ක් ( දෙකෝටි තිස් තුන් ලක්ෂ අසූ පන්දහස් පන්සිය විස්සයි ශත හැත්තෑහතක්) ලබා දී අතර වැන්දඹු යැපෙන්නන් සඳහා රුපියල් 1,10,20,666.14 ක් ( එක් කෝටි දස ලක්ෂ විසි දහස් හයසිය හැට හයයි ශත දහ හතරක්) ද ලබා දී තිබේ. ඒ අනුව 2025 ජනවාරි මාසයේදී විශ්‍රාමික මන්ත්‍රීවරුන් සඳහා ගෙවා ඇති මුළු මුදල රුපියල් 3,44,06,186.91.( තුන් කෝටි හතලිස් හතර ලක්ෂ හය දහස් එකසිය අසූ හයයි ශත අනූ එක) කි මෙලෙස විශ්‍රාම වැටුප් ලබා ගන්නා මන්ත්‍රීවරුන් අතර වසර පහේ සිට වසර 40 ක් වැනි දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස සිටි අයද ඇතුළත් වෙති. ( කෙසේ වෙතත් උපරිමව වසර 15 ලෙස ගණනය කෙරේ)
සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූවෝ ලක්ෂ හතකට වැඩි පිරිසක් මේ වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටිති. 2023 සංඛ්‍යාලේඛන අනුව 2023 වසරේදී විශ්‍රාම වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ගේ ගණන 6,95,726 ක් විය.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇත්ත වශයෙන්ම විශ්‍රාම වැටුපක් ලැබීම සුදුසු නැතිද? ඔවුන් කිසිදු සේවයක් සිදු කර නැතිද? නැත්නම් කළ සේවය ප්‍රමාණවත් නැතිද? එසේත් නැත්නම් විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ ගැටළු පවතීද ආදි ප්‍රශ්න රැසක් ජනතාවගේ සිත් තුළ ඇති වීම සාමාන්‍ය දෙයකි. අපේ රටේ පවතින සෑම නිතියක්ම සම්මත කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනි. ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවරුන් ව්‍යාපාරිකයින් පමණක් නොව රජයේ උසස් නිලධාරින්ද විශාල පිරිසක් නිදහසින් පසු බිහි වූ අපේ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ඇතැම් පිරිස් රාජ්‍ය සේවයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාද තිබිය හැකිය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වන්නේ ඔවුන් ලැබූ වැටුපෙන් තුනෙන් එකකි. මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ඒකක පහක් හරහා මෙම විශ්‍රාම වැටුප් ගෙවීම සිදු වන අතර , 01 අගමැති 02 කතානායක 03 කැබිනට්, කැබිනට් නොවන ඇමතිවරු විපක්ෂ නායක/ 04 නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස සහ 05 මන්ත්‍රීවරුන් ලෙස වර්ගීකරණය කර තිබේ.

අගමැතිවරයෙකු අවුරුදු පහක අවම සේවා කාලය සම්පූර්ණ කර ඇත්නම් හිමි වනුයේ රුපියල් 23,833.33 ක විශ්‍රාම වැටුපක් වන අතර අවුරුදු 15 සම්පුර්ණ කර ඇත්නම් අගමැතිවරයාට හිමි වනුයේ රුපියල් 47,666.66 ක වැටුපකි. කතානායකවරයෙකු වසර පහක අවම කාලය සම්පූර්ණ කර ඇති විට හිමි වන්නේ රුපියල් 22,833.33 ක විශ්‍රාම වැටුපක් වන අතර අවුරුදු 15 සම්පූර්ණ අර ඇත්නම් හිමි වනුයේ රුපියල් 45,666.66 ක වැටුපකි. කැබිනට් ,කැබිනට් නොවන ඇමතිවරු සහ විපක්ෂ නායකවරයා අවම කාලය වන වසර පහ සම්පූර්ණ කර අති විට ලැබෙන්නේ රුපියල් 21,666.66 ක විශ්‍රාම වැටුපක් වන අතර උපරිම කාලය වන වසර 15 සම්පූර්ණ කර ඇති විට ඔහුට හෝ ඇයට හිමි වන්නේ රුපියල් 43,333.32 ක විශ්‍රාම වැටුපකි. නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති සහ නියෝජ්‍යවරුන් වසර පහක අවම කාලය සම්පූර්ණ කළ විට ඔහුට හෝ ඇයට හිමි වන විශ්‍රාම වැටුප රුපියල් 21,166.66 ක් වන අතර උපරිම කාලය වන වසර 15 සම්පූර්ණ කර ඇති විට ලැබෙන විශ්‍රාම වැටුප 42,333.33 ක් ද වෙයි. මෙම කුලකයේ අවසන් කොටස වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර පහක අවම කාලය සම්පූර්ණ කර ඇති විට ලැබෙන්නේ රුපියල් 18,095.00 ක වැටුපක් වන අතර උපරිම කාලය වන වසර 15 සම්පූර්ණ කළ විට ලැබෙනුයේ රුපියල් 36,190.00 ක විශ්‍රාම වැටුපකි. මෙම අවම සහ උපරිම කාලය අතර සේවය කර ඇති වසරින් වසර සඳහා වැටුප් වෙනස් වීමක් සිදු වෙයි.

පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ලැබූ මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙනු ලබන විශ්‍රාම වැටුපට අමතරව වෙනත් දීමනාවන් කිහිපයක්ද හිමි වන බව ලබා දී ඇති තොරතුරුවල සඳහන් වෙයි.ඒ අනුව ජීවන වියදම් දීමනාව වශයෙන් රුපියල් 6,025.00 ක දීමනාවක් , රුපියල් 3500.00 ක අන්තර් දීමනාවක්. ,2022 දී එක් කළ රුපියල් 3000.00 ක අන්තර් දීමනාවක්,. 2024 දී එක්වූ රුපියල් 3000.00 ක අන්තර් දීමනාවක් විශ්‍රාම වැටුප සමග ලබාදෙයි. ඊට අමතරව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට පමණක් රුපියල් 10,000.00 අන්තර් දීමනාවක්ද, මන්ත්‍රීවරුන්ට මෙන්ම වැන්දඹුවන්ටද හිමි වන තවත් රුපියල් 15,000.00 දීමනාවක්ද මන්ත්‍රීවරුන්ට හිමි වෙයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ලබා දී ඇති තොරතුරු අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මසකට රුපියල් 40,525.00 ක සහ ඔවුන්ගේ වැන්දඹු යැපෙන්නන් රුපියල් 30, 525.00 ක විවිධ නම්වලින් වන දීමනාවක්ද ලබා ගනු ලබයි.මෙවන් දීමනා වසර 30 ක් 40 ක් සේවා කාලය අවසන් කළ රජයේ සේවකයින්ට හිමි නොවීම සමාජය තුල මන්ත්‍රීරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් අතෘප්තියක් ඇති වීමට බලපා ඇති ප්‍රධාන හේතුවෙක් වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරද රජයේ සේවකයින් මෙන්ම රටට යම් සේවයක් කළ පිරිස්ද වෙති. ඔවුන්ට යම් විශ්‍රාම වැටුපක් ලබා දීම ගැන සමාජය තුළ විරෝධයක් මතු නොවෙයි. එසේ වුවත් රාජ්‍ය සේවකයින්ට හිමි නොවන අයුරින් විශාල ප්‍රමාණයෙන් දීමනා ලබා ගැනීම ජනතාව අනුමත නොකරන බව ඔවුහු කියති. මෙම තත්වය තුළ වඩාත් ගැලපෙන්නේ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ක්‍රමය නැවත සලකා බලා සුදුසු විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීම බව අපගේ අදහසයි.
