පාතහේවාහැට ගම්වැද සිටින රිලවුන් වනගත ප්‍රදේශවලට මුදා හැරීම ආරම්භ කෙරේ 

හේවාහැට-චම්පික දසනායක 

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන ගණනාවක භව භෝග හා පොදු දේපල වලට හානි කරන රිලවුන් අල්ලා ආරක්ෂිතව  වනගත ප්‍රදේශයකට මුදා හැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ කෘෂිකාර්මික ප්‍රදේශ අතරින් ප්‍රමුඛතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වන පාතහේවාහැට ප්‍රදේශයේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ රිලා උවදුරෙන් දැඩි පීඩාවට පත්ව සිටියහ 

මුල් කාලයේ ගෙවතු වගාවන්ට පමණක් හානි පැමිණවූ රිලවුන් පසුකාලීනව ගහනය වැඩි වීමත් සමගම හේන් ගොවිතැන් වගාවන්ට හා කුඹුරු ඉඩම් ආශ්‍රිත වගාබිම් මෙන්ම පොදු දේපල විනාශ කිරීමට පෙළඹීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවට පත්වූහ 

එක් රිලා රංචුවක සිටින රිලවුන් ප්‍රමාණය වැඩි වීමත් සමගම ආහාර හිගවීම නිසා ආක්‍රමණශීලීව නිවාස හා වෙළඳසැල් වෙත ඇතුළුවී ආහාරපාන රැගෙන යාම හා විනාශ කිරීම සුලභව සිදුවූ අවස්ථා ගණනාවකදීම මේ සඳහා විසඳුම් ලබාදීමට සැලසුම් සකස්වූ නමුත් එම සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීමෙන් තම වගාබිම් හා දේපල විනාශ වීමෙන් ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවයකටද  මුහුණ දී සිටිති.  

අල්ලා ගන්නා රිලවුන්ට හානි නොවන ආකාරයට ඒ සඳහාම සැකසු විශේෂිත  කුඩුවකට ගාල්කර වන්ද්‍යාකරණ සැත්කමකට ලක් කිරීමෙන් පසුව වනගත ප්‍රදේශයකට මුදා හැරීමට කටයුතු සිදු කරන බව රජය මගින් ප්‍රකාශයට පත්කර ඇත 

පාතහේවාහැට මීරුප්ප ඇලිකේවෙල හා දමුණුගොල්ල යන ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් රිලවුන් අල්ලා ගැනීමේ කටයුතු මේ වනවිට ක්‍රියාවට නංවා ඇත. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *