පළාත් පාලන ආයතන 336 ක් සඳහා නාමයෝජනා භාර ගැනීම අද සිට

 

අජිත්ලාල් ශාන්තඋදය

පරිපාලන දිස්ත්‍රික් විසි පහක පළාත් පාලන ආයතන 336ක් සදහා නාමයෝජනා භාරගැනීම අද (17) සිට 20දා දක්වා එම දිස්ත්‍රික් විසි පහේ දිස්ත්‍රික් ලේකම් කාර්යවල දී සිදු කෙරේ.

යම් කිසි අපේක්ෂකයෙකු නාමයෝජනා පත්‍රයේ අත්සන් කර නොතිබීම මගින් එම අපේක්ෂකයාගේ නම නාමයෝජනා පත්‍රයෙන් ඉවත් විය යුතු බවත් මෙම නම සඳහා වෙනත් නමක් ආදේශ කිරිමට හිමිකමක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ හේතුවෙන් නාම යොජනා පත්‍රයම ප්‍රතික්ෂේප නොවේ. නමුත් අපේක්ෂකයා වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් රාජසන්තක වන බවද එම නිවේදනයේ සඳහන් වේ.

මැතිවරණය ප්‍රකාශයට පත්කර ඡන්ද විමසිම පවත්වා අවසන් වන කාලසීමාව ‍‍”ඡන්ද විමසීමේ කාලසීමාව” වෙයි. එම කාලය තුළ දේශපාන පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරිමට හේතුවන හෝ අගතියකට පත්වෙන ආකාරයේ කටයුතු සදහා රාජ්‍ය දේපල භාවිතයෙන් වැළකිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා 2025 මාර්තු 16වන දින තවත් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

”ඡන්ද විමසීමේ කාලසීමාව” තුළ  ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල රජයේ නිලධාරීන්, සේවකයින් බදවා ගැනීම,උසස් කිරිම් හා ස්ථාන මාරුකිරිම් ආදී කරුණු සීමා කළයුතු බව රාජ්‍ය දේපල භාරව සිටින අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානින් ප්‍රමුඛ සියලුම නිලධාරින්ගේ අවධානය යොමුවිය යුතු බවද එම නිවේදනයෙන් අවධාරණය කරයි.

මැතිවරණයක් පවත්වන කාලපරිච්ඡේදය තුළ දී, රජයට හෝ යම් සංස්ථාවකට හෝ අයත් යම් චංචල හෝ නිශ්චල දේපලක් යම් දේශපාලන කණ්ඩායමක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ තෝරාපත් කර ගැනීම ප්‍රවර්ධනය කිරීමේ හෝ වළක්වාලීමේ කාර්යය සදහා යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් භාවිතා කිරීම තහනම් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හෝ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට බලය තිබෙන බව ද නිවේදනයේ දැක්වේ.

මැතිවරණ කොමිසන් සභාව විසින් කරනු ලබන එවැනි විධානයට අනුකූලවිම සහ ක්‍රියාත්මක කිරිම තත් කාලයේ රජය සතු දේපලභාරව සිටින සහ පාලනය දරණ සියලුම නිලධාරීන් බැදී සිටින බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මාර්තු 16 දිනැතිව නිකුත් කර ඇති නිවේදනයේ දක්වා ඇත.

එවැනි විධානයන් උල්ලංඝනය කිරිම අධිකරණයකින් වරදකරු කරනු ලැබූ විටක වසර තුනක සිර දඩුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් හෝ  එම දඩුවම් දෙකම ලබාදිය හැකි වරදක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හදුන්වාදි ඇති බව අවධාරණය කරන බව ද නිවේදනයේ තවදුරටත් දැක්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *