(මොහොමඩ් ආසික්)
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් රජය තවමත් නිල වශයෙන් ඉල්ලීමක් කර නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කීය.
අද 28 වනදා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හකීම් මහතා මේ බව කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ හකීම් මහතා මෙසේද කීය.
සමගි ජන බලවේගයේ කොටස්කාර පක්ෂයක් හැටියට ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිට වීම සඳහා සමගි ජන බලවේගය අපෙන් සහාය ඉල්ලා තිබෙනවා.ඒ වගේම බිම් මට්ටමින් යම් යම් ආරාධනා ආණ්ඩු පක්ෂයෙන් ලැබී තිබුණත් නිල වශයෙන් ආණ්ඩුව පැත්තෙන් එහෙම ඉල්ලීමක් කරල නෑ. එහෙම ඉල්ලීම් කරපු තැන්වල සමගි ජන බලවේගයට ආණ්ඩු බලය පිහිට වීමට යම් අපහසුතාවයක් තියෙනවානම් පමණක් ඒක සලකා බලන්න තීරණය කර තිබෙනවා.විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල සමගි ජන බලවේගය ලකුණින් තරඟ කරලා ඉතා සුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගෙන තිබෙනවා.ඒ ප්‍රදේශවල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා මේ විකෘති මැතිවරණ ක්‍රමයත් එක්ක.මේ ක්‍රමය යටතේ ඒ ඒ ප්‍රදේශවල ඉන්න ප්‍රාදේශිය නායකයින් අපිත් එක්ක සාකච්ඡා කරනවා නමුත් ආණ්ඩුවත් එක්ක නිල වශයෙන් තවමත් කිසිදු සාකච්ඡාවක් කරල නෑ.ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීමේදී සන්ධානයේ පක්ෂවලට සමගි ජන බලවේගය ලබා දුන් පොරොන්දු සමහර තැන්වල ඉටු වෙලා තිබුණත් තවත් සමහර තැන්වල ඉටු වෙලා නෑ. නමුත් ඒ සම්බන්ධයෙන් තවමත් විශාල මත බේදයක් මතු වෙලා නෑ.
පළාත් පාලන ආයතනවල සේවකයින් සඳහා වැටුප් ගෙවීමට යම් ප්‍රතිශතයක් ඒ ඒ ආයතනවලින් ලබා දිය යුතු වීම නිසා සෑම පළාත් පාලන ආයතනයක්ම ආදායම් වැඩි කර ගන්න වෙනවා. යැයිද හකීම් මහතා මෙහිදී කීය.
