වැලිගම තරංග ගුණරත්න
වැලිගම නගරයේ රජයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකුට පන්තිභාර ගුරුතුමිය විසින් සිදුකළා යයි කියන නොයෙකුත් හිරිහැර හේතුවෙන්, එම පීඩාවන් දරා ගත නොහැකිව එම දරුවාගේ මව බරපතළ ලෙස අසනීප තත්වයට පත්ව ඇති බවත් ඒ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට සාධාරණයක් ඉටුකර දෙන්නැයි දරුවාගේ පියා වන එචි .කේ.ඒ . ප්‍රීතිලාල් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි..
එචි.කේ.ඒ. ප්‍රීතිලාල් මහතා (41 ) සංචාරක ක්ෂේත්රයේ රැකියාවක නිරත වන අතර ඔහුගේ බිරිඳ වන පි.ඩි.නදීකා (40 ) ගෘහණියකි.
මොවුන්ගේ බාල පුතු මෙම වසරේ වැලිගම නගරයේ ප්‍රාථමික පාසලකට ඇතුළත් කිරීම සඳහා ආදි ශිෂ්‍ය පදනම මත යොමු කර තිබුණත් එම අවස්ථාව ඔවුන්ට අහිමි විය්. පසුව පොරොත්තු ලේඛනය මත දරුවා පාසලට ඇතුළත් කළ බව දරුවාගේ පියා පවසයි .
දරුවා පාසලට ඇතුළත් කිරීමෙන් පසු එම පාසලේ පන්තිභාර ගුරුතුමිය විසින් මෙම දරුවා පිළිබදව සෘණාත්මක ආකල්පයක් දරමින් චෝදනා නැගූ බවත් එම හේතුව මත පාසල් ආරම්භය අවධියේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් සඳහාද දරුවා සහභාගි කරවීම නවතා දමා නිවසේ රඳවාගත් බවද දරුවාගේ පියා සඳහන් කර සිටියි.
මේ පිළිබඳව දෙමව්පියන් විසින් වැලිගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට දන්වා සිටීමෙන් අනතුරුව මාස තුනක කාලයක් එම දරුවා සමග මවටද පන්ති කාමරයේ රැඳී සිටීමට අවසර ලබා දී තිබිණි.
නමුත් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම හේතු කොට අදාළ ගුරුතුමිය විසින් දෙමව්පියන්ට චෝදනා නගා තිබිණි.
මෙම දරුවා අනෙකුත් දරුවන් සමග පන්ති කාමරයේ තබා ගැනීම පසෙක ලා එම දරුවා වෙනත් කාමරයක තනිව දමා තැබීම, දරුවා පිළිබඳව සෘණාත්මක සිතුවිලිවලින් දෙමව්පියන්ට චෝදනා කිරීම ආදී කරුණු නිසා දෙමව්පියන් දැඩි කනස්සල්ලෙන් පසුවූ බවත්, එම හේතුවෙන් දරුවාගේ මව පි.ඩි.නදීකා (40 ) දැඩි ලෙස රෝගාතුර වූ බවත් දරුවාගේ පියා සඳහන් කර සිටියි.
එම රෝගී තත්ත්වය හේතුවෙන් ඉකුත් 03 දින වැලිගම වලාන රෝහලට ඇතුලත් කළ නදීකා මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා තිබූ අතර , ඉන්පසු ඇය ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත්කොට හදිසි ශල්‍යකර්මයක්ද සිදු කිරීමට සිදුව තිබේ. අනතුරුව ඇය නැවත මාතර මහ රෝහලට මාරු කරා එවා තිබූ අතර මේ වන විට බරපතළ තත්වයෙන් මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව දරුවාගේ පියා හැඬු කඳුළින් පවසයි.
කෙසේ වුවද ස්ථීර නිවසක් ද නොමැති මෙම පවුල දැඩි ලෙස අසරණ වී ඇති අතර පාසලේදී දරුවාට සිදුවූ හිරිහැර හේතුකොටගෙන බිරිඳට මෙවැනි තත්ත්වයක් ඇතිවූ බව අවධාරණය කරන ප්‍රීතිලාල් මහතා මේ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට සාධාරණයක් ඉටු කරදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
මේ පිළිබඳව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ දරුවාගේ ඥාතිවරයෙකු සිදුකළ පැමිණිල්ලක් මත අදාළ විමර්ශන කටයුතු පැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.
