පවුල් අවුලන ලෝන් බිල්ලා             

     වන්නි, රොමේෂ් මධුෂංඛ

            

              හදීසියකට ණයක් ගන්න අයෙකුට පොලිය 40% සිට 220 % ක් වැනි ගිනි පොලියක් අයකෙරෙන පිරිස් අපරට තුල සිටිනවා යයි කිවහොත් දැන් දැන් එහි රහසක් නොමැති බවට සාධක මගින් ඔප්පු වී හමාරය.

මේ කියන්න හන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයනයන් ගැනය. එයින්ද ගිනි පොලී, වැල් පොලී යන බස්වහරේ නියම හරයක් අසන්නට දකින්නට ඇත්තේ උතුරු පළාතෙන් මේ ගැන වැඩිවශයෙන් අනාවරණය වීමත් සමගය.           

 මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගෙන් ලබා දුන් ණය මුදල් හෝ පොලී මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් දැන් දැන් උතුරේ සියදිවි හානිකරගන්නා ප්‍රතිශතයන් සීග්‍රයෙන් වැඩි වීම දැඩි අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

  රුපියල් 5000 ක් වැනි මුදලක් ගෙවීමට හෝ නොහැකිව දරුවන් තිදෙනා සමග මවක ළිඳට පැන සිය දිවි හානි කරගැනීමට තරම් තත්වයක් උදාවීම කෙතරම් අවාසනාවන්තද යන්න දෙවරක් සිතා බැලීමට සිදුව ඇත.

 වරදකරුවන්ට නීතියෙන් ගැලවීමට හැකි අයුරින් මූල්‍ය ආයතන මගින් ඇප හා කොන්දේසි ඉදිරිපත් කිරීම මෙහි තවත් ඇති බියකරු තත්වයකි.

යුද්ධයේදී ,කොටි ත්‍රස්ත සාමාජිකයෙකු දකින විටදී ගැහෙන හදවත තවමත් නොනැවතී ගැහෙනා බව බොහෝ දෙනෙකු නොදැන සිටියෝය. එදා කොටියා දැක බිය වූ අයුරින්ම අද මේ ආයතන සිය ක්‍රියාකලාපයෙන් අසරණ ජනතාව බියවද්දමින් සිටිති.

උතුරේ බොහෝ දෙනෙකු ඔවුන් හඳුන්වන්නේ ලෝන් බිල්ලා යනුවෙනි. දැන් දැන් ලෝන් බිල්ලා දැක බියවන පිරිස් දිනෙන් දින වැඩිවෙමින් පවතී.

බිල්ලා යනු ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් මගින් ණය මුදල් හා පොලී මුදල් එකතු කිරීමට පිටත් කරන පිරිසකි. ඔවුන් දැක්ක සැනින් කුඩා දරුවන්ද “අම්මා.. බිල්ලා “යනුවෙන් හැඳින්වීමට තරම් හුරු පුරුදුව සිටිති.

එදා කුඩා දරුවෙකුට “ඕං බිල්ලා එනවා” යන වැකිය බොහෝ විට මව් වරුන්ගේ කටින් පිටවූයේ කවදාක හෝ දැක නැති ඉතා බියකරු බිල්ලෙකු ගැන කියා දරුවන්ගේ හැඬිල්ල නවතා ගත්තද, දැන් ඒ බිල්ලා දැක ගැනීමට හැකිව ඇත. එදා කියූ පරිදිම මේ ලෝන් බිල්ලන් බියකරු බව දැන් දැන් කුඩා දරුවන්ට වුවද වැටහී ඇත්තේ, ලෝන් බිල්ලා නිවසට පැමිණ ගිය විට පවුලේ ඇති වන නොසන්සුන්තාවයන් හා අඬ

දබරයන් නිසාය.

නමුත් කුඩා දරුවන්ට වටහා ගැනීමට නොහැක්කේ, සිත් ඇදගන්නා සුලු අයුරින්, මුහුණ පුරා සිනහවත් සමග නිවසට ඇතුලු වන මේ මූල්‍ය ආයතන වල සාමාජිකයින් ,ණය මුදල් දී ආපසු ගැනීමට පැමිණීමේදී  බිල්ලා ස්වරූපයෙන් නිවසෙන් පිටවූ සැනින් නි සිදු වන අවුල් සහගත තත්වය හේතුවෙනි.

යුද්දය අවසන් වීමට පෙරනම් මෙකී ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් උතුරු නැගෙනහිර දකින්නට නොලැබුනද රටේ වෙනත් පලාත්හි විවිධ නම් වලින් පෙනී සිටියහ. එකී කාලයේද ජනතාවට දැරිය නොහැකි පොලියක් සමග ණය ලබා දීම නිසා මෙම ආයතනයන්ට විවිධ පලාත්වලින් විරෝධතා ගල් මුල් ප්‍රහාර එල්ල වන්නට විය.

 නමුත් යුද්ධය අවසන් වූ සැනින් මෙම මූල්‍ය ආයතනයන්හි සුභ කාලය එලඹිණි. සියල්ලන්ම කාක්කන් සේ උතුරට පැමිණ ණය දැල එලනු ලැබුවේ හිතක් පපුවක් නැති උන් සේය. සියල්ල අහිමිව හිස් ඉඩමක් වෙතට ගිය නැවත පදිංචි වූ වැසියන්ට එදා වේල ගැට ගසා ගන්නටද බොහෝ දුක් ගැහැට විඳින්නට විය .නමුත් මේ වැසියන් වෙනුවෙන් පිහිට වීමට පැමිණි ආයතන බව හඳුන්වා පළමුව අඩු පොලියකට ණය දී පළමු වෙඩි මුරය තබන්නේ මේ වැසියන් කිසිවෙකුටත් නොදැනෙන්නටය.

කාලයාගෙ ඇවෑමෙන් මීට වසර දෙකහමාරකට පමණ පෙර බළලා මල්ලෙන් එළියට පැන්නේය. වව්නියාව තාණ්ඩික්කුලම් ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් දරුවන් තිදෙනාද සමග ළිඳට පැන සිය දිවි හානි කර ගැනීම පළාතම කම්පා කරවූ සිදුවීමක් විය.

එම සිදුවීමත් සමග මූල්‍ය ආයතනවල ණය පොලී බරින් මිරීකී සිටින ජනතාව පිළිබඳ අනාවරණය විය. තිදරු මව මිය යාමට පෙර දිනයේ බිල්ලෙකු පැමිණ ණය මුදල ගෙවිය යුතු දින පසු වීම නිසා ඉල්ලා ඇත. නමුත් මේ මවට එම මුදල ගෙවීමට නොහැකි වීම නිසා කල් ඉල්ලුවද, ඊට දින දෙකක් පමණක් ලබා දී, ඉන් පසුව පොලිස් නිලධාරීන් සමග නිවසට පැමිණෙන බවට දැනුම් දී ගොස් ඇත. ණය මුදල වූයේ රුපියල් 5000 කි. රුපියල් පන්දහසක හදීසි අවශ්‍යතාවය නිසා තම සැමියාටද නොකියා මේ තිදරු මව අදාල මුදල  මෙම මූල්‍ය ආයතනයෙන් ලබාගෙන ඇත්තේ හදීසියට දුන් කොන්දේසී වගන්ති ඇතුලත් පත්‍රිකාද අත්සන් තබමිණි. මේ බව සැමියා දන්නේ බිල්ලා (මූල්‍ය ආයතනයේ ණය මුදල් එකතු කරන තැනත්තා) නිවසට පැමිණ ගිය පසුවය. පසුව පවුල් ආරවුල් ඇති විය. කියූ පරිදි දින දෙක ගෙවෙන්නේ සඳුදාය. ඊට පෙර ඉරිදා සවස මව තම දරුවන් තිදෙනාද සමග ළිඳට පනින්නේ රුපියල් පන්දහසක් වැනි සුලු මුදලකට ජීවිත 4 ක් බිලි දෙමිනි.

සිද්ධිය සැලවීමත් සමග පසුදා (සඳුදා) පොලිසිය පැමිණ අදාල මූල්‍ය ආයතනයන්හි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය. නමුත් පුදුමයට කරුණ වූයේ මේ නිලධාරීන් ළිඳෙන් මළ සිරුරු ගොඩට ගැනීමටත් පෙරම අධිකරණයකට හෝ ඉදිරිපත් නොවීම  නිදහස් වීමය.

 මළ සිරුරු ගොඩට ගත් අවස්ථාවේදී අදාල මූල්‍ය ආයතනයක නිලධාරියෙකු මළ සිරුරු හා මහේස්ත්‍රාත් වරයා ඉදිරියේම හිතක් පපුවක් නැති අයෙකු සේ කියා සිටියේ අදාල ණය කරුගේ මුදල ආපසු පියවීමට නොහැකි වුවහොත් ණය කරුගේ ඉඩම වෙන්දේසි කොට හෝ ණය මුදල උපයා ගන්නා ලෙසට අත්සන් හා ඇප ඉදිරිපත් කොට ඇති බවයි.

 අදටද ණය ලබා දෙන ආයතන විසින් ණය දී අත්සන් කරවාගන්නා පත්‍රිකා බොහෝ දෙනෙකු විසින් කියවා බලනු නොලැබේ.  බොහෝ කොන්දේසී ඇත්තේ ඉංග්‍රීසියෙනි. ණය මුදල ලබා ගැනීමේ සිහියෙන් සිටින සියල්ලන්ම පාහේ මූල්‍ය ආයතන නිලධාරින්ගේ ෆෝරමයේ නිලධාරීන් පෙන්වන තැන් සියල්ලක්ම අත්සන් කරගෙන යන්නේ තරඟයට අත්සන් ගහන්නාක් මෙනි. කිසිවක් නොකියවයි. එය බරපතල කාරණාවක් සේම මූල්‍ය ආයතනයන්හි කපටිකමකි.

තමන් ගිවිසුම් ගතව ඇත්තේ කෙතරම් බරපතල කාරණාවකටද යන්න බොහෝ දෙනෙකු දන්නේ සියල්ල සිදුවී ණය හෝ පොලිය ලබා ගැනීමට එන විටය.

මෙහිදී රජය පාර්ශවයෙන් සිදුවන අඩුපාඩුවක්ද තිබේ.  මේ මිනිසුන්ට අවශ්‍ය රුපියල් පන්දහසක්, දසදහසක් වැනි කුඩා මුදලක්  ලබා දීමට රාජ්‍ය අංශයේ තැනක් නැති වීම ඒ අඩුපාඩුවයි. ඇති තැන් වලිනුත් මේ  කුඩා මුදලට ඉල්ලන ඇප මේ මිනිසුන්ට දෙන්න සැපයිය නොහැක. කලකට පෙර සමූපකාර ග්‍රාමීය බැංකු වලින් මෙබඳු ණය ලබාදෙනු ලැබීය.එම ණය සඳහා අය කළේ අඩු පොළියකි.  මේ මූල්‍ය ආයතන ලියාපදිංචි ඒවාද යන්න සොයා බැලීම රජයේ වගකීමකි.  පොලීසියත්, මහ බැංකුවත් පැමිණ ,මේ ආයතන ලියාපදිංචි ඒවා නොවන බව පවසන්නේ මිනිසුන්ට අසාධාරණකම් සිදුවූ පසුය. ඒ වනවිටත් සියල්ල සිදුවී හමාරය.

බොහෝ විට අප රූපවාහිනියේ හෝ රේඩියොවකින් බැංකු පොලී අනුපාතයන් අසන්නට දකින්නට ඇත්තේ 20% කට අඩු ප්‍රමාණයකිනි.ඉ නමුත් අසන්නට දකින්නට නොමැති, සිතාගත නොහැකි පොලියක් උතුරු පළාතේ ඇති බව කිව යුතුමය. උතුරේ වැසියන්ට අත්විඳීම සිදුව ඇති ගිනි පොළිය 40% සිට 220% දක්වා වන බව කිවහොත් ඔබ විශ්වාස නොකරනු  ඇත.

ලෝන් බිල්ල හා පොලී බිල්ල එක් වූ විට යුද්ධයට මුහුණ දුන්නාට වැඩි මානසික පීඩනයක් මේ ජනතාවට විඳීමට සිදුව ඇත.මේ පොලිය වැඩි වීමට විරෝධය පා මුලතිව් නගර මධ්‍යයේ මෙන්ම වවවුනියාව නගරයේ පැවති විරෝධතාවකට එක් වූ කාන්තා සමිති සාමාජිකාවන් පිරිසක් කියා සිටියේ මෙවැන්නකි.

‘‘අපේ පළාත් වල නැවත පදිංචියට ගිය හැම කෙනාටම ගෙවල් ලැබුණෙ නැහැ .ඇතැම් විට ගෙයක් ලැබුණත් කන්න අඳින්න විදහක් තිබුණෙ නැහැ . රටේ අනිත් මිනිස්සු කොයි විදියට කෑව ඇන්දත් අපි එදා වේල හොයාගන්න පුදුම මහන්සියක් වෙන්නේ. අපට රැකියා නැහැ. අපේ පළාත් වල ඉන්න ජනතාවගෙන් 80% කටම වගේ ස්ථීර රැකියාවක් නැහැ. ස්වයං රැකියාවක් කරගන්න හෝ ගේ කෑල්ලක් හදාගන්න හරි තමයි කොහෙන් හරි ණයක් ගන්න යන්නේ. නමුත් රාජ්‍ය බැංකු හා ලොකු ලොකු පෞද්ගලික බැංකු වලින් අපිට ණය දෙන්නෙ නැහැ .මොකද ඒ අය ඉල්ලන ඇප අපිට නැති නිසා .ඒ නිසා තමයි ගිනි පොලියකට හරි ඔය කියන මූල්‍ය ආයතන වලින් ණය ගන්න යන්නේ . ඒ අය මුලින්ම ණය මුදල් දීල තමයි කොන්දේසි ගැන කතා කරන්නේ. ඒක ඒ අයගේ කපටිකමක් පස්සේ ඉංගීසියෙන් හදපු කොළ ගොඩක් ගෙනල්ලා අත්සන් කරන්න ඕන තැන් පෙන්නලා අත්සන් කරගන්නවා. අපේ අයත් ටක්ගාලා අත්සන් කරනවා. ඉල්ලපු ණය මුදල ලැබිලනේ. ණය මුදල දෙන කොට පොලිය යාන්තමට වගේ කියනව සීයයට අච්චරයි මෙච්චරයි කියලා. නමුත් අපේ බොහෝ දෙනෙකුට අවුරුද්දක් ගියහම තමයි තේරෙන්නේ ගෙවන්න තියන ණය මුදල හා පොලිය ලක්ෂයක් ගත්තහම අවුරුද්දකට තුන්ලක්ෂ විසිදහසක් ගෙවන්න වෙලා .මේව අහපු ගමන් අපේ මිනිස්සු ක්ලාන්තේ දානවා. ඉතින් කොහොමද ගෙවන්නේ??? ගත්තු ණය මුදලට වඩා තුන්ගුණයක් පොලී වාරිකය ගෙවන්න වෙලා.

ඉතින් මේ මිනිස්සු ගමරට අතෑරල යන්නද ?..කොහෙ කියල යන්නද, මේ අයට බේරිලා?.. යුද්දෙදි උණ්ඩෙට බෝම්බෙට බේරුණත් මේ ආයතන වලින් එවන පුද්ගලයින්ගෙන් (බිල්ලෝ) බේරෙන්න බැහැ. සමහර විට ඒ පුද්ගලයිනුත් අපේ පළාත් වල තරුණයන්මයි. මොකද ප්‍රදේශය දන්න අයනේ .මේ අයත් ආයතනයට ඕන රූකඩ විදිහට තමයි අපේ මිනිස්සු ළගට ඇවිත් මුදල් අහන්නේ .මොකද ඒ අයටත් පැවත්ම තියෙන්නේ එතකොටනේ.  කොහොම හරි මේ මූල්‍ය ආයතන වල පොලිය අඩුවුණේ නැත්තම් යුද්දෙට වැඩි ව්‍යසනයක් වෙන එකනම් ඒකාන්තයි. “

මෙම ගැටලුව රජයටද කන්වැදී හමාරය .නමුත් පියවර ගැනීමට ප්‍රමාද වීමෙන් මේ වන විටද ජීවිත රැසක් අහිමිව ඇත.

ණය මුදල් ලබා ගත් විරෝධතාවයේ යෙදුනු පිරිස් කියා සිටියේ යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර නැවත පදිංචි වූ ජනතාව විසින් සිය ජීවිතය නැවත ආරම්භ කිරීම උදෙසා ලබා ගත් මෙම ණය මුදල් වෙනුවෙන්ද රජය කිසියම් විසඳුමක් ලබා දිය යුතු බවයි .එනම් ණය මුදල් ලබාගෙන ඇති කාරණාව පිළිබඳ මානුෂිය අයුරින් සලකා යම් කිසි සහනයක් ලබා දිය යුතුය යන්න පිළිබඳව උතුරේ බොහෝ ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති.

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *