පරිත්‍යාගයන් රැසක් සිහි කරන‘හජ්’ උත්සවය

ජූනි 07 වන දිනට යෙදුණු හජ් උත්සවය නිමිත්තෙනි

 

(මොහොමඩ් ආසික්)

ලොව පුරා වෙසෙන ඉස්ලාම් ධර්මය අනුගමනය කරන බැතිමතුන් අනිවාර්යෙන් ඉටු කළ යුතු ප්‍රධාන වගකීම්  පහ අතුරින් අවසන් වගකීම  ලෙස හජ් වන්දනය ඉටු කිරීම සඳහන් කර තිබේ. මෙයින් අදහස් වන්නේ ඉස්ලාම් ධර්මය අදහන සියලු දෙනාම හජ් වන්දනය අනිවාර්යෙන්ම ඉටු කළ යුතු බවයි. එසේ වුවද හජ් වන්දනය ඉටු කිරීම අනිවාර්ය වෙන්නේ ඒ සඳහා අවශ්‍ය සම්පත් සහ ශරීර සෞඛ්‍ය ඇති අයට පමණි.

හජ් වන්දනය යනු ඉස්ලාම් ධර්මය ලොවට හඳුන්වා දුන් මුහම්මද නබි තුමාණන් මෙන්ම ඉස්ලාමයේ අනෙකුත් නබි වරුන්  ඉපදී ආගමික ප්‍රචාරයන් සිදු  කළ දේශය වන සවුදි අරාබියට ගොස් එම ‌ඓහාසික ස්ථානයන් දැක බලා ගැනීමයි. මෙම භූමියේදී විශේෂ යාඥාවන් කිරිම මගින් තමන්ගේ යහපත් බලාපොරොත්තු ඉටු වන බවද ඉස්ලාමය කියයි.

හජ් වන්දනය ඉටු කිරිම සඳහා මක්කා සහ මදීනා නගර ඇතුළු ‌ ඓතිහාසික ප්‍රදේශවලට යන  බැතිමතුන් මේ හජ් වන්දනය ගැන යම් කිසි දැනුමක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

ඉස්ලාමිය බැතිමතෙකු පිළිපැදිය යුතු නැත්නම් අනිවාර්යෙන්ම ඉටු කළ යුතු වගකීම් පහක් වෙයි. ඒ අතර පළමු වැන්න වනුනේ විශ්වාසයයි. අල්ලාහ් දෙවියන් වහන්සේ සහ මුහම්මද් නබි තුමාණන් ගැන විශ්වාස කිරිම වන අතර දෙවැන්න පස් වේල් සලාතය ඉටු කිරීමත් තුන්වැන්න රමලාන් මාසයේ උපවාසය සුරැකීමත් හතර වැන්න සකාත් නම් වන දුගී බද්ද ගෙවීමත් වන අතර පස් වන සහ අවසන් වගකීම ලෙස හජ් වන්දනය ඉටු කිරිම  සඳහන් වෙයි.

හජ් උත්සවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වන දිනයේදී පවත්වනු ලබන උත්සවයයි. මෙය හජ් වන්දනය හෙවත් ලෝකයේ නන් දෙස සිට සවුදි අරාබියේ මක්කම නගරයට යන ලක්ෂ සංඛ්‍යාත බැතුමතුන් හජ් වන්දනය අවසන් කළ දිනයේදී පවත්වනු ලබන උත්සවයි.

එය හජ් වන්දනය සඳහා ගිය නොගිය සියලු දෙනාම එක්ව සමරනු ලබයි. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල්හජ් මස  10 වන දින හජ් උත්සවය පැවැත්වෙයි.

මෙය සවුදි අරාබියට ගොස් හජ් වන්දනය ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ඇති ශරිර සෞඛ්‍යයෙන් හෙබි සියලු දෙනාට අනිවාර්ය වගකීමක් වෙයි.

ඉස්ලාම් ධර්මය මුහම්මද් නබි තුමාණන් පරිපූර්ණ කළ නමුත් එය ලොව පළමු මිනිසා වන ආදම් නබි තුමන්ගෙන් ආරම්භ වූ බව ඉස්ලාමය කියයි. මෙම  දීර්ග ගමනේදී  වසර 5000 කට පමණ පෙර සමාජයට යහ මාර්ගය පෙන්වීම සඳහා බිහි වූ නබි ඉබ්‍රාහිම් තුමන්ගේ සහ එතුමන්ගේ පුත් නබි ඉස්මයිල් තුමන්ගේ ද ජීවිත කාලයේදී සිදු වූ  සිදුවීම් සිහි කිරීමද මෙම හජ් වන්දනයේ ප්‍රධාන අරමුණක්  වෙයි.

හජ් උත්සවය පරිත්‍යාගයේ උත්සවය ලෙස සැලකෙයි. නබි ඉබ්‍රාහිම් තුමන්ගේ කාලයේ සිදු කළ පරිත්‍යාගයන් මෙම සැමරුමට මූලික වෙයි.

නබි ඉබ්‍රාහිම් තුමන් යනු  ශුද්ධ වූ කහ්බා දේවස්ථානය මිහි මත නැවත ස්ථාපිත  කළ නබිවරයාණෝ වෙති එතුමන්ගේ ජීවත කතාව සහ හජ් උත්සවය අතර සෘජු සම්බන්ධතාවයක් පවතී.  නබි ඉබ්‍රාහිම්  තුමන් විවාහව සිටියේ හාජරා  මව් තුමිය සමඟයි මෙම දෙපළට දීර්ග කාලයක් තිස්සේ දරුවන් නොසිටි අතර එතුමන්ට  වයස අසූවේදී  පුත් කුමරෙකු ලැබිණ. එම කුමරාට ඉස්මයිල්  ලෙස නම් තැබූහ.

කාලයක් ගත වෙද්දී කුඩා පුත් කුමරා ඇවිද  දිව යන කාලය එළඹෙද්දී   ඉබ්‍රාහිම් නබි තුමන්ට දේව පරීක්ෂාවන් රැසකට මුහුණ දීමට සිදු විය.  ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් එතුමන් කළ කැපකිරීම් සිහි කිරීම වෙනුවෙන්ම මෙම හජ් උත්සවය වෙන් කර ඇති බව ශුද්ධ වූ කුරාණයේද සදහන් වෙයි.

ඉස්මයිල් කුමරා කුඩා බිළිඳෙකුව සිටියදී  දෙවියන් වහන්සේගෙන් නියෝගයක්  ඉබ්‍රාහිම් නබි තුමන්ට ලැබිණ. එයින් කියවුණේ තම කුඩා බිළිඳා සහ මව් හාජරා තුමියද සමඟ කාන්තාරයට රැගෙන ගොස් තනි කර එන ලෙසයි. එම දේව අණ  අනුව නබි ඉබ්‍රාහිම් තුමන් සිය  බිළිඳා රැගෙන එන ලෙස හාජරා තුමියට පැවසූහ. ඒ අනුව ගහක් කොළක් ජල බිදක් නැති කාන්තාරයේ බිළිඳා සහ මව තනි කර ඉබ්‍රාහිම් නබි තුමන් පෙරළා පැමිණියහ.

හාජරා මව් තුමිය  බිළිඳා වඩා ගෙන ඔබ මොබ ඇවිදිමින් සිටියදී කුඩා  බිළිඳා  ජලය ඉල්ලා කෑගස්සට විය. ජල බිඳක් නැති කාන්තාරයේ මව් හාජරා තුමිය කෙසේ නම් ජලය හොයන්නද ඇය සිය බිළිදා කාන්තාරයේ තනි කර දෙපැත්තෙන් දිස් වන සෆා මර්වා යනුවෙන් හඳුන්වනු ලබන කඳු ගැට දෙක අතර එහා මෙහා දිව යමින් බිළිඳාට ජල බිඳක් සෙයා ගියාය.  

ඒ ක්ෂණයෙන් බිඳිදාගේ දෙපා මුලින් මහ විශාල උල්පතක් මතු වී ජලය ගලා යන්නට විය. එම ජල කඳ දැක මව් හාජරා තුමිය සම් සම් යැයි පැවසුවාය. එහි තේරුම නවතින්න  නවතින්න යනුවෙනි. එම ජලයෙන් කුඩා බිළිඳාගේ පිපාසය නිවා ගැනීමට හැකි විය .  ඕනෑම රෝගයක් සුව කිරිමට සමත් ඔසුවක් මෙන්ම ලොව පිරිසිදුම ජලය  ලෙස මුස්ලිම් ජනතාව අතර අදත්  ප්‍රසිද්ධ මෙම  සම් සම් ළිං ජලය අදද ලෝකය පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත ජනතාව සිය නිවෙස්වලට රැගෙන යමින් සිටිති.

කුඩා ඉස්මයිල්  කුමරු ළමා වියට එ‌ළෙඹිමත් සමඟ නබි ඉබ්‍රාහිම් තුමන්ට තවත් දේව අණකට කීකරු වන්නට සිදු විය. එවිට එතුමන්ට ලැබුණේ තම කුඩා ඉස්මයිල් කුමරා  කැළයට රැගෙන ගොස් දෙවියන් වෙනුවෙන් බිලි දෙන ලෙසයි. එයටද අවනත වූ ඉබ්‍රාහිම් නබි තුමා පුත් කුමරාද කැටුව කැළයට යන ඉබ්‍රාහිම්  නබි තුමන් දෙවියන් වහන්සේට කීකරු වී සිය එකම කුමාරා  බිලි දෙන්නට සූදානම් වුවත්  ඒ අවස්ථාවේ දෙවියන්  වහන්සේගේ  දැනුම් දීම අනුව එම ස්ථානයට දෙව් ලොව සිට එවනු ලැබූ එළුවකු දෙවියන් වෙනුවෙන්  කුර්බාන් කිරීම මගින් එම වගකීම ඉටු කිරීමට හැකි විය.

මුස්ලිම් ජනතාව අදත් හජ් උත්සය සමයේ කුර්බාන් නමින් හඳුන්වනු ලබන සත්ව මාංශ දානය ලබා දෙනු ලබන්නේ මෙම සිදු වීම සිහි කිරිම සඳහා වේ. ඉස්ලාමය සත්ව ඝාතනය ආගමිකව පවරා ඇති එකම අවස්ථාව මෙය වෙයි.

මුස්ලිම් වරුන්ට  සීමා සහිත සතුන්ගේ මාංශ  අනුභවයට අවසර  හිමිව තිබේ . එසේ වුවද ආගම විසින් සතුන් ඝාතනය කර දෙවියන් වහන්සේ වෙනුවෙන් කුර්බාන් කරන ලෙස නියම කර ඇත්තේ වසරකට දින තුනක් පමණි. මෙම දින තුන වනුයේ හජ් උත්සවය පවත්වනු ලබන දිනය සහ ඉන් පසුව එන දින දෙක වෙයි. වෙනත් කිසිදු දිනෙක සිදු කරනු ලබන සත්ව ඝාතනයන් ආගමික නියමයන්ට අනුව සිදු වන ඒවා නොවේ.

හජ් උත්සවය  පවත්වනු ලබන්නේ සවුදි අරාබියේ මක්කම සහ ඉස්ලාමයේ නබි වරුන් ජීවත් වූ ප්‍රදේශ මුල් කර ගෙනයි. ලෝකයේ නන් දෙස සිට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවරද හජ් වන්දනය ඉටු  කරමින් සිටිති.

හජ් වන්දනය යනු ලෝකයට පරිත්‍යාගය, සාමය සහ සහජීවනයට මනා ආදර්ශයක් ලබා දෙන උත්සවයකි.  මෙහි ප්‍රධාන උත්සවය සවුදි අරාබිය මුල් කර ගෙන සිදු වුවද, ලෝකයේ වෙසෙන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව දුල් හජ් මස දහ වන දින යෙදෙන ඊදුල් අල්හා නම් වන හජ් උත්සවය සමරති‍.

පරිත්‍යාගය ,සාමය, සහ  සහජීවනය මුල් කර ගෙන පවත්වනු ලබන මෙම හජ් උත්සවය වෙනුවෙන් සියලු දෙනාට සුබ පතමු.

 ඊද් මුබාරක් ඔබ සැමට…..!!

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *