
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ විදුලිය නිෂ්පාදනය 14 වන දින අලුයම වන විට ආරම්භ කල බව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීයකු පැවසිය.
පසුගිය 9 දින ජාතික පද්ධතියේ සිදුවු බිඳ වැටිමක් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර වල විදුලිය නිෂ්පාදනය නැවතීමත් සමඟ ජනන යන්ත්‍ර තුනම ක්‍රියා විරහිත වීමෙන් රටපුරා විදුලි කප්පාදුවකට පියවර ගැනීමට සිදුව තිබුණි..
කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන්ගේ මැදිහත් විමෙන් ලක්විජය බලාගාරයේ ඉංජීනේරුවන් මහත් වෙහෙසක් ගනිමින්, තම රාජකාරි නිසි ලෙස ඉටුකරමින් පසුගිය දින කිපය තුල ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට කටයුතු කර තිබුණි .
එහිදි අදියර තුන යටතේ ආරම්භ කල ජනන යන්ත්‍රය 13 දින සවස සිට යළි ක්‍රියාත්මක කර එහි විදුලිය නිෂ්පාදනය 14 දින අලුයම 2 ට පමණ ජාතික පද්ධතියට ලබා දීමට හැකිවු බව ඉහළ නිළධාරීයා පවසයි.
ඒ අනුව මෙම තුන්වන ජනන යන්ත්‍රය මගින් මෙගාවොට් 300 කට ආසන්න විදුලිය නිෂ්පාදනය උපරිම මට්ටමින් සිදුවන බව කියයි.
කෙසේ නමුත් මේ වන විටත් නැවති ඇති ලක්විජය බලාගාරයේ අංක එක හා දෙක යන්ත්‍ර යළි ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ඊට තව දින කිහිපයක් ගතවනු ඇති බවත් කියවේ.
මේ අනුව අද සිට විදුලිය කැපිමක් සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ජනතාවට ගැටළුවකින් තොරව විදුලි ලැබෙනු ඇති බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.


