යසංග මහාවිතාන
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු තාප බලාගාරයට අනුයුක්තව රාජකාරී කටයුතුවල නිරතව සිටි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයින් එම රාජකාරිවලින් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ ගිනි නිවීමේ ඒකකය අතර ගිවිසුම් කාල සීමාව අවසන් වී වීම නිසා මෙම සේවකයන් රාජකාරි වලින් ඉවත් කර ඇති බව කියැවේ. එම ගිවිසුම් කාල සීමාව යළි අලුත් කිරීමට බලාගාරයේ පාලනාධිකාරිය කටයුතු කර නොමැති බව සඳහන් වේ. ඒ අනුව 2025 අප්‍රේල් 01 දින සිට ගිනිනිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයන් බලාගාර භූමියෙන් ඉවත්වගොස් තිබේ.මේ සම්බන්ධව ගිනි නිවීමේ ඒකකයේ සේවකයන්ගේ මූලස්ථානය දැනුවත් කර තිබේ.
නොරොච්චෝලේ බලාගාරයේ පාලනාධිකාරිය විසින් එහි සේවයට යොදවා ඇති සේවකයින් සංඛ්‍යාව අඩු කරන ලෙස දැනුම් දී ඇති බවද කියැවේ.එම පදනම යටතේ ගිවිසුම ක්‍රියාත්මකව තිබුණු කාලයේදීද පහළොස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් දහ දෙනෙක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබුණි
එසේ යොදවන ලද සේවකයින් අඩුකිරීමම ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බවත් , එය ප්‍රමිතියට අනුකූල නොවන බවත් ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් නොරොච්චෝල පාලනාධිකාරිය දැනුම් දී තිබුණි. බලාගාර පාලන අධිකාරිය විසින් ගිවිසුම් අලුත් කිරීමට කටයුතු නොකරන ලද්දේ එවන් පසුබිමක් තුළය.
ගිනි නිවීමේ ඒකකය බලාගාරය තුළ කටයුතු කරන සමයේදී පුහුණු කරනු ලැබූ බලාගාර සේවකයින් ගිනි වීමේකකයේ සේවකයන් ඉවත්ව යාමෙන් පසු එම රාජකාරිය සඳහා යොදවා ඇති බව නොරොච්චෝලේ ආරංචි මාර්ග සඳහන් කරයි.එය මෙවැනි බලාගාරයක් තුළ දැඩි අවදානම් සහගත ක්‍රියාවක් බවද එම ආරංචි මාර්ග පවසයි.
බලාගාරයේ යම්කිසි හදිසි අවස්ථාවක් මතු ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා කැඳවිය හැකි ආසන්නම ගිනි නිවීමේ ඒකකය වන්නේ මීගමුව පිහිටි ගිනි නිවීමේ ඒකකයයි. එහි ඇත්තේ කුඩා ගිනි නිවීමේ ඒකකයකි. ඔවුන්ටද බලාගාරය වෙත පිවිසීමට විනාඩි 15කට ආසන්න කාලයක් ගතවන බව කියැවේ.
එමෙන්ම එය ප්‍රමාණවත් නොවුණහොත් ඒ සඳහා කැඳවිය යුතු වන්නේ කොළඹ පිහිටි ගිනි නිවීමේ රථය. ඔවුන් බලාගාරය වෙත පැමිණීමට පැයකට ආසන්න කාලයත් ගතවනු ඇත.එය අතිශය භයානක තත්ත්වයක් බව බලාගාර ආරංචි මාර්ග අවධාරණය කරයි.
අදාළ බලාගාරය තුළ මේ වන විට සුදුසුකම් ලත් ගිනි නිවීමේ ඒකකයක් නැත.හදිසි අවස්ථාවකදී කටයුතු කිරීම සඳහා වගකීම් සහගත පාර්ශවයන් කිසිවෙකුත් නොසිටීම බලාගාරය දැඩි අනතුරක හෙලීමක් බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.


