නිදහස් දිනයට විරුද්ධව හා පාලනයට විරුද්ධව උතුරේ තැන තැන කළුකොඩි එසවෙයි.

වවුනියාව මාධව කුලසූරිය.

තමන්ගේ අතුරුදහන්වු ඥාතීන් නොමැතිව හා උතුරේ අහිමිවු සිය ඉඩම් නොමැතිව නිදහසක් නොමැති බව සඳහන් කරමින් අද(04) උතුරු පළාතේ තැනින් තැන කළු කොඩි ඔසවමින් විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබිණ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන,දේශපාලන සංවිධාන එක්ව කිලිනොච්චිය නගරයේදී කළුකොඩි ඔසවා,කළුපටි පැළඳගෙන විරෝධතාවයක් සංවිධානය කොට තිබිණ.

එලෙසම යාපනය විශ්ව විද්‍යාලයේදීද කළුකොඩි ඔසවා කළුපටි පැළඳගෙන යාපනය විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවයක නිරතවිණ.

විරෝධතාවයට එක්වු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ යුද්ධය නිමාවී වසර 16 ක් ගතවි ඇතත් තමන්ගේ අතුරුදහන්වු ඥාතීන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති අතර,අතුරුදහන්වු තම ඥාතීන් නොමැතිව තමන්ට නිදහසක් නොමැති බවයි.

වර්තමාන පාලකයින් හරහාද අතුරුදහන්වූවන්ගේ ගැටළුවට නිසි පිළිතුරක් නොලැබෙන බව පෙනී යන බවත්,වර්තමාන පාලකයින්ද ජනතාව රවටමින් සිටින බව අදාළ පිරිස පැවසූහ.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපස විරෝධතාවයක් පවත්වමින් පවසා සිටියේ තමන්ගේ අතුරුදහන්වු ඥාතීන් සොයාදෙන ලෙස හා ආරක්ෂක අංශ සතුව පවතින උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කරදෙන ලෙසයි.

වර්තමාන පාලනය හරහාද උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුමක් නොලැබෙන බව විරෝධතාවයට එක්වුවන් පැවසූහ.

ජාතික ජන බලවේගයේ පාලනයක් ස්ථාපිතවීමෙන් අනතුරුව උතුරු පළාතේ පැවැත්වු පළමු කළු විරෝධතාවය මෙය වන බවද උතුරේ ජනතාව පවසති.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවය වෙනුවෙන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා,ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ද එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *