
වැලිගම තරංග ගුණරත්න
වගකිවයුතු ආයතනවල නොසැලකිලිමත් බව හේතුවෙන් වසර කීපයකට ඉහතදී වැසී යාමට ලක්වූ කනංකේ සතිපොළ මෙවන විට විනාශ වෙමින් පවතින බව ජනතාව පවසති .
කනංකේ සති පොළ වසර ගණනාවකට ඉහතදී , ප්‍රදේශයේ ගොවි ජනතාවගේ එළවළු, පලතුරු නිෂ්පාදන සහ නොයෙකුත් නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානයක් ලෙස, ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ දෙපස, සතියේ බදාදා දිනයන්හි පස්වරුවේදී පවත්වාගෙන යන ලදී . එය ප්‍රදේශයේ තිබූ ඉතාමත් ජනාකීර්ණ සතිපොළක්ව පැවැති බව ජනතාව කියා සිටිති.
එයට අවශ්‍ය පහසුකමක් ලෙස 2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව විශාල මුදලක් වැය කොට කනංකේ සතිපොළ ඉදිකරන ලදී.
එය වැලිගම ප්‍රාදේශීය සභාව යටතේ පවත්වාගෙන යන ලදී. මෙම ස්ථානය කිසියම් පුද්ගලයකු වෙත පවරා තිබූ අතර , ඔහු විසින් මෙම සතිපොළ භාවිතා කරන ගොවි ජනතාවගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් අධික ලෙස කඩබදු අය කිරීම නිසා එය දරාගත නොහැකිව ක්‍රමක්‍රමයෙන් වෙළඳුන්ගේ පැමිණීම දුර්වල වී තිබිණි. ඒ අනුව ප්‍රදේශයේ ගොවි ජනතාවගේ නොයෙකුත් නිෂ්පාදන අලෙවි කර ගැනීමේ පහසුව අහිමිවීමත් ඒ සමග කනංකේ සතිපොළ වැසී යාමත් සිදු වූ බවපැවසේ.
වගකිවයුතු ආයතනවල නොසලකිලිමත් බව නිසා කනංකේ සතිපොළේ ගොඩනැගිලි විනාශ වෙමින් තිබෙන බවටත්, මෙවන විට එම ගොඩනැගිලි ව්‍යාපාරිකයෙකු විසින් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇති බවටත් ප්‍රදේශයේ මහජනතාව චෝදනා කරති. මෙම මහජන දේපල කිසියම් ප්‍රයෝජනයක් සඳහා යොදා ගන්නා ලෙස ජනතාව බලධාරින් ඉල්ලා සිටිති.
වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දිමා පි හෙට්ටිවත්ත මහත්මියගෙන් කළ විමසීමකදී,
එම ස්ථානය යොදාගෙන ප්‍රදේශයේ ජනතාවට වෙනත් සේවාවක් ලබාදීමට හැකියාව සොයා බලා කටයුතු කරන බව ඇය පැවසුවාය.

