දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයේ අවධානය

ලක්මිණි නදීෂා

මෙරට දේශීය වශයෙන් ශල්‍ය ගෝස් නිෂ්පාදන කටයුතු විධිමත්ව නිසි ප්‍රමිතීන්ට අනුව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් සහ නවීන තාක්ෂණික දැනුම ලබාදෙමින්, කර්මාන්තකරුවන් දිරිමත් කරමින් ඉදිරියටත් අඛණ්ඩ ව මෙරට සෞඛ්‍ය පද්ධතියට ශල්‍ය ගෝස් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් සහ මෙරට ශල්‍ය ගෝස් නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන 300 කට ආසන්න දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වන ලදි.

මෙරට ශල්‍ය ගෝස් නිෂ්පාදන කර්මාන්තයේ නියැලෙන 300 කට ආසන්න නිෂ්පාදකයින් පිරිසෙන් සියයට 90 ක් වැනි ප්‍රමාණයක් මෙම කර්මාන්තය ගෘහස්ථ ව පවත්වාගෙන යන බැවින් ඉහළ ප්‍රමිතීන් යටතේ එම නිෂ්පාදන වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස මෙහි දී අමාත්‍යවරයා  විසින් දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදකයින් දැනුවත් කරනු ලැබීය.

1972 වසරේ දේශීය ග්‍රාමීය කර්මාන්තයක් ලෙස ශල්‍ය ගෝස් නිෂ්පාදනය ආරම්භ ව වසර 53 ක් පුරා අඛණ්ඩ ව වෛද්‍ය සැපයුම් අංශයට අතිරික්තයකින් තොර ව ශල්‍ය ගෝස් සැපයුම සිදු කිරිම පිළිබඳව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින්  සිය ස්තූතිය දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදකයින්ට පුද කරන ලද අතර, නවීන තාක්ෂණික දැනුම ලබා ගනිමින් ක්‍රමවත් ව නිෂ්පාදන ධාරිතාවයන් ද ඉහළ නංවා ගැනීමට  කටයුතු කරන ලෙස ද උපදෙස් දෙන ලදි.  

එමෙන් ම පසුගිය යුද සමය, සුනාමි ව්‍යසනය, කොරෝනා වසංගතය වැනි අවස්ථාවන්හි දී ද සහ රටෙහි විදේශ විනිමය නොමැති ව අමුද්‍රව්‍ය ආනයනය කිරීමට පවා නොහැකි වු බැරෑරුම් අවස්ථාවල ද කිසිදු හිඟතාවයකින් තොර ව වෛද්‍ය සැපයුම් අංශය වෙත ශල්‍ය ගෝස් සැපයුම අඛණ්ඩව සිදු කිරීමට දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදකයින් කටයුතු කිරීම පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සිය ස්තූතිය ශල්‍ය ගෝස් නිෂ්පාදකයින්ට පිරිනැමුවේය.

දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදකයින් ඔවුන්ගේ ප්‍රධාන යෝජනා සහ ගැටලු දෙකක් පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමු කළහ. එනම් ශල්‍ය ගෝස් මිල දී ගැනීමේ දී අනුගමනය කරන ප්‍රමිතීන් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටළු සහගත තත්වයයි.

ඒ පිළිබඳව අධ්‍යයනයකින් පසු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මෙහි දී අමාත්‍යවරයා පොරොන්දු විය.,  නිෂ්පාදන කටයුතුවලට අදාළ මුදල් ගෙවීම් සම්බන්ධ ව වන ගැටළු ව පිළිබඳව ද අවධානය යොමු කළ අමාත්‍යවරයා ගෙවීමට ඇති මුදල් කඩිනමින් ගෙවීමට පියවර ගන්නා ලෙස  නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණූ ඩයස්, ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අසේල පෙරේරා, ලේකම් කිත්සිරි වික්‍රමරත්න මහතා ඇතුළු දේශීය ශල්‍ය ගෝස් නිෂ්පාදකයින්ගේ නියෝජිතයින් පිරිසක් එක් ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *