හේවාහැට-චම්පික දසනායක

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉපැරණි ගම්මානයක් වන මාරස්සන ගම්මානය ඓතිහාසික සිදුවීම් ගණනාවක් නිසා ප්‍රසිද්ධියට පත්වූ සුන්දර ගම්මානයකි.
රජුට ආරක්ෂාව සැලසූ නිසාම එම ගම්මානයට මාරස්සන යන නම ලැබුණු බවත් ” මා රක්ෂා කළ ගම ” යන අරුතින් එම ග්‍රාම නාමය රාජ ආඥාවෙන් ලැබුණු බවට ප්‍රකට ජන කතාවක් අදටත් කන්ද උඩරට හා හේවාහැට ජනතාව අතර ප්‍රචලිතව ඇත .
එම ජනකතාවට අනුව කන්ද උඩරට රජකළ දෙවැනි රාජසිංහ රජු නිල්ලඹ ප්‍රදේශයේ රජ මාලිගයට පැමිණ සිටි අවස්ථාවක හදිසියේ එල්ලවූ සතුරු ආක්‍රමණයකින් දිවි ගලවා ගැනීමට සාමාන්‍ය ගැමියෙකු සේ වෙස් වලාගෙන හඟුරන්කෙත රජ මාලිගාව දක්වා ගමන් කරන අතරතුර නිල්ලඹ කඳු පන්තියේ අනෙක් බෑවුමේ පිහිටි මැදගම ගම්මානය දක්වා පැමිණ තිබේ .
දිවා කාලයේ තම ගම්මානයට පැමිණි අමුත්තාගේ දේහ ලක්ෂණ අනුව සාමාන්‍ය ගැමියෙකු නොවන බව වටහාගත් මැදගම ගම්මානයේ කාන්තාවක් අමුත්තාට තම නිවසේ අසුන් පනවා අහාර පාන ලබාදී ඉහළින් සත්කාර කර තිබේ.
අමුත්තා නිවසින් පිටව ගිය පසුව නිවෙස් හිමි කාන්තාවගේ සැමියා පැමිණ ඇති අතර තමා නිවසේ නොමැති අවස්ථාවක ආගන්තුකයෙකු සඳහා නිවසේ ආහාර පාන ලබාදී සංග්‍රහ කිරීම පිළිබඳව දැක ඒ පිළිබඳව තම භාර්යාවගෙන් විමසා ඇත.
දිවා කාලයේ ආගන්තුකව නිවසට පැමිණි අමුත්තා පිළිබඳව කාන්තාව සිය සැමියාට පවසා ඇති අතර තමා නිවසේ නොමැති අවස්ථාවක තම බිරිඳ මහමග යන සොරකුට රැවටී ඇතැයි සිතා රජු ගමන්ගත් මග ඔස්සේ හඹාවිත් තිබේ .

තමා පිටුපස පිරිසක් හඹාඑන ආකාරය දුටු රජු අවසානයේ මාරස්සන ගම්මානයට පැමිණ එම ගම්මානයේ නිවසක සිටි වයෝවෘද්ධ මවකගෙන් උපකාර ඉල්ලා ඇත්තේ තමා පිටුපස සොර මුලක් පන්නාගෙන එන බව පවසමිනි .
සොරුන්ගෙන් බේරීමට ආගන්තුකයාට තම නිවසේ වී අටුවේ සැඟවීමට මාරස්සන ගම ගෙදර වයෝවෘද්ධ මව උපකාර කර ඇති අතර තමා පිටුපස හඹා ආ පිරිසගෙන් ආරක්ෂාව සලසාගත් රජතුමා ඔවුන් පිටව ගිය පසු තමාට උපකාර කළ මවට ස්තුති කර ,ආරක්ෂාකාරීව හඟුරන්කෙත රජ මාලිගාව දක්වා පැමිණ ,පසුදින රාජ පුරුෂයන් ලවා මාරස්සන ගමගෙදර රණතුංග මුදියන්සේලාගේ පිරිස හඟුරන්කෙත රජ මාලිගාවට කැඳවා පෙරදින සිදුවීම විමසා තිබේ.
තමන් නොදැනුවත්වම පෙරදින තම නිවසේ වී අටුවේ සැඟවී සිටි අමුත්තා රජතුමා බව වටහාගෙන ඇති ගමගෙදර පිරිස රජු ඉදිරියේ වැඳ වැටී සමාව ඉල්ලූහ. තම ජීවිත අවදානම පවා නොතකා ගමගෙදර වයෝවෘද්ධ මව සිදුකළ එඩිතර ක්‍රියාව අගයා නම්බුනාම හා ගම්වරයක්ද ලබාදී “මා රක්ෂා කළ ගම ” ලෙසින් හඳුන්වා දීමට කටයුතු කළ බවට ජනප්‍රවාදයේ සඳහන්ව ඇත.



