දෙවැනි කෝපි කෝප්පයේ රස විඳින මිහින්තලේ වෙල්ලාරගම දරුවන්

දෙවැනි කෝපි කෝප්පයේ ආධාරයෙන් 2025 වර්ෂය සඳහා පාසල් උපකරණ ද රැගෙන THE  SECOND COFFEE  INTERNATIONAL සංවිධානය  පසුගිය දා මිහින්තලේ අ/වෙල්ලාරගම විදුහල වෙත පැමිණියේය.

පළමු කෝපි කෝප්පය තම ආහාරයක් ලෙසත්, දෙවැනි කෝපි කෝප්පය තවකෙකුගේ සුභසිද්ධිය උදෙසාත් වෙන් කිරීම මෙම සංවිධානයේ පරමාර්ථය වී ඇත. තම සුඛවිහරණය පසෙකලා, දෙවැනි කෝපි කෝප්පය පානය නොකර ,ඒ සඳහා වැයවන මුදල පරාර්ථකාමී හැඟීමෙන් යුතුව එක්‍ රැස් කොට දාන පාරමිතාවේ යෙදවීම මෙම මිතුරු හවුලේ එකම බලාපොරොත්තුව වී තිබේ.

තම මව් රටින් එතෙරව විදෙස්ගතව ජීවත් වන මෙම සංවිධානයේ සාමාජිකයින් වැඩිදෙනෙක් තම මව් රටේ අනාගත පරපුර දෙස බලා සීමා මායිම් වලින් තොරව කටයුතු කිරීම ද දැයේ දරුවන්ගේ වාසනාවකි.

ලාංකිකයන් ලෙස විදෙස් ගතව වෙන් වෙන්ව එක් එක් රටවල මෙම සංවිධානයේ මිතුරු පිරිස ජීවත් වුවද, ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රැක ගනිමින් ජාතික හා දේශීය මමත්වය තුළ ජීවත් වෙමින්, තම මව් රට වෙනුවෙන් ඉටු කරන මා හැඟී සත්කාරයන් කාගේත් ප්‍රශංසාවට තුඩු දෙන්නකි.

මිහින්තලේ වෙල්ලාරගම  විදුහලේ දුවා දරුවන් හට ඉගෙනුම් උපකරණ ප්‍රධානය කිරීමෙහිලා නවසීලන්තයේ වෙසෙන සෞම්‍යා තිසේරා මහත්මිය ඉමහත් කාර්යභාරයක් ඉටු කළ බව මෙම සංවිධානයේ නිර්මාතෘ සීටා හේරත් මහත්මිය පැවසුවාය.

පාසල නොදුටු , ගමනොදුටු, දරුවන් ද නොදුටු ,එහෙත් තම සංවිධානයේ සාමාජිකයින්ගේ නිර්දේශය මත   වීඩියෝ දර්ශනයක් හා  ඡායාරූපයක් දැක පරෝපකාරී සිතින් ඒ වෙනුවෙන් තම අවිවේකී ජීවිතයේ වැඩි කාලයක් හා වෙහෙසක් දරා සෞම්‍යා තිසේරා මහත්මිය  මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමට කැප වී තිබේ. තම වෙහෙස මහන්සිය පසෙකලා, නවසීලන්තයේ තමා සේවය කරන ආයතනයේ සේවකයන් විදේශිකයන් වුවද තම මව් රටේ දුවා දරුවන්ගේ අනාගතය උදෙසා සිත් පහදවා, සිය කැමැත්තෙන් ප්‍රධානය කරන ලද මූල්‍ය ප්‍රධානයන් එකතු කර ගනිමින්, වෙල්ලාරගම විදුහලේ  දරුවන් හට අවශ්‍ය ඉගෙනුම් ආධාරක ආදරයෙන්, ලෙන්ගතු සිතින් ප්‍රධානය කිරීමට කැපවීම  සුවිශේෂී කරුණකි. මෙම ප්‍රධානයන් සදහා වැය වූ මුදලෙන් 90% පමණ දරා ඇත්තේ ද ඇය විසිනි.

ඕස්ට්‍රේලියාවේ පදිංචි සීටා හේරත් මහත්මිය තම මව් රටට පැමිණ ගූගල් සිතියම ඔස්සේ කුලී ත්‍රී රෝද රථයකින් පාර සොයාගෙන වෙල්ලාරගම විදුහල් බිමට ඉකුත් නොවැම්බර් මාසයේ දිනෙක පැමිණියාය.  සීටා හේරත් මහත්මිය සියැසින් සියල්ල දැක නන්නාඳුනන ප්‍රදේශයක, මුහුණක්ද නොදුටු දරුවන් පිරිසකට තම සහය හා ආදරය අවැසි යැයි වටහා ගැනීමෙන් පසු මෙම සත් ක්‍රියාවට මුලපිරීමද සතුට දනවන කරුණකි. පසුව ඇය දේශීය මෙන්ම විදේශීයව ජීවත් වන තම සංවිධානයේ මිතුරු කැළ මෙන්ම නව යොවුන් වියේ පිරිසක් ද සමඟ පාසල වෙත පැමිණ මෙම ප්‍රධානයන් පිරිනමන්නට යෙදුණි. 

නවසීලන්තයේ පදිංචි අනුරාජී වීරකෝන් සහ හර්ෂ වීරකෝන් යන දෙපළද තම දියණිය සමග නිවාඩුව ගත කරන්නට ලංකාවට පැමිණි මොහොතේ වෙල්ලාරගම විදුහල් බිමේ අධ්‍යාපනය හදාරන දුවා දරුවන් දැක ඔවුන්ට ශක්තියක් එක් කළෝය. 

එම සංවිධානයේ නිර්මාතෘ හා ප්‍රධාන සංවිධායිකා සීටා හේරත් මහත්මිය  ඇතුළු එම කණ්ඩායම පාසලේ දරුවන් සඳහා පොත් බෑගයක් , පාවහන් යුගලක් හා පාසල් උපකරණ මෙහි දී ප්‍රධානය කරන්නට යෙදුණි.

ආර්ථික අපහසුතා ඇති දුවා දරුවන්ගේ අනාගතයට සවියක් වීම පරමාර්ථය කරගනිමින් ඔවුන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම සංවිධානයට සම්බන්ධ දේශීය මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ සඳහා දායකත්වය සැපයූ බවත් ආදරය එහි සංකේතය බවත් ඔවුහු එහිදී පැවසූහ.

මීට සමගාමීව මෙම පාසලේ ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ  ඉංග්‍රීසි හා දෙමළ භාෂා සංවර්ධනය උදෙසා පාසල් කාලයෙන් පරිබාහිරව ඉංග්‍රීසි පාඨමාලාවක් හා  දෙමළ භාෂා පාඨමාලාවක් පැවැත්වීමටත්, නවීන ලෝකයට මුහුණ දීම සඳහා නව තාක්ෂණය ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත වීමට අවශ්‍ය සුහුරු පන්ති කාමරයක් සකස් කොට ඒ තුළින් දරුවන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරීමටත් නව වැඩසටහනක් එම සංවිධානය මගින් ඉදිරි කාලසීමාව තුළ සංවිධානය කිරීමටත් සැලසුම් කර ඇත.ඊට අදාළ මූල්‍ය හා අනෙකුත් සියලු පහසුකම් ඔවුන්ගේ මැදිහත්වීම තුළ සිදුකිරීමටද නියමිතය.

දරුවන්ගේ ඉගෙනුම් පරිසරය, ආකල්ප වර්ධනය, පරාර්ථකාමී සිතුවිලි නිර්මාණය කිරීම මෙන්ම නවීන ලෝකයට මුහුණ දිය හැකි දරුවෙකු නිර්මාණය කිරීමට කොටස්කරුවෙකු වීම තම සංවිධානයේ එකම බලාපොරොත්තුව බවද  ඔවුහු එම අවස්ථාවට එක්වෙමින් පැවසූහ.

කිත්සිරි  වනසිංහ, අනුරාධපුරය

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *