දැයට කිරුළින් දැයට අහිමි වූ දැයේ මුදල්

දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන්   අති විශාල මුදල් ප්‍රමාණයක් වැයකොට ඉදිකළ  ඇතැම් ගොඩනැගිලි තවමත් වැඩ අවසන් නොවීමෙන්   ප්‍රයෝජනයට ගත නොහැකිව  විනාශයට පත් වෙමින් තිබේ .

2014  වර්ෂයේ පැවති එවකට රජය විසින්  දැයට කිරුළ  ප්‍රදර්ශන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.ඒ යටතේ  ගාල්ල,  මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් 2015 දැයට කිරුළ ප්‍රදර්ශනය  මාතර,  වැලිගම,   කොටවිල  ප්‍රදේශයේදී  පැවැත්වීම සඳහා  අවශ්‍ය කටයුතු යොදා තිබිණි.ඒ සඳහා රජය සතු ඉඩමෙි  විවිධ ආයතන සහ දෙපාර්තමේන්තු 19ක්  ඉදිකිරීම සඳහා ඉඩම් කැබලි  වෙන්කොට  ලබා දී තිබිණි.
  කොටවිල නව ක්‍රීඩාංගනය, කොටවිල පොලිසිය , ගෘහස්ථ පිහිනුම් තටාකය,  සුරාබදු කාර්යාලය, අධිකරණ සංකීර්ණය, රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ල , කැලිකසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඇතුළු  රජයට අයත් ආයතන කිහිපයක  ඉදිකිරීම් කටයුතු   ආරම්භ කරන ලදි.
නමුත්  2015 වර්ෂයේදී   මැතිවරණයෙන් පැවැති රජය  පරාජයට පත්වීම සමඟ  දැයට කිරුළ ව්‍යාපෘතිය  සම්පූර්ණයෙන්ම  නවතා දැමුණි.
මේ සමග කොටවිල ප්‍රදේශයේ වැඩ  ආරම්භ කළ ආයතන  කීපයක  ඉදිකිරීම් කටයුතු  මන්දගාමීව  තිබී, පසුව  අදාල  අමාත්‍යාංශ මගින්  වැඩ අවසන් කොට මහජන සුභ සිද්ධිය සඳහා යොදාගැනීමට කටයුතු කෙරිණි.
එහෙත්  අති   විශාල   මුදලක් වැය කොට  වැඩ ආරම්භ කරන ලද රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු   තුන්වන මහල දක්වා සිදුකොට, මේ වන විට    අතර මඟ නවතා දමා ඇති ආකාරයක් දක්නට ඇත.  එපමණක් නොව  මෙම ගොඩනැගිල්ල අව්වෙන් වැස්සෙන් හානියට පත්ව මේ වනවිට   ඝන වනාන්තරයෙන් වැසි පවතී.
එසේම මේ  අති විශාල ගොඩනැගිල්ල ගවයන්ගේ වාසස්ථානයක්ව පවතී.  මේ සදහා  ඇස්තමේන්තු ගත මුදල  හෝ  මෙතෙක් වැයවු මුදල කොපමණද යන්න පිළිබඳව  සඳහන් නොවන අතර, මෙම  බල ප්‍රදේශය වැලිගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට  සහ වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වන බව සඳහන් වෙි .
ජනතා සුභ සිද්ධිය  සඳහා යැයි පවසමින්   ජාතික ධනය වැයකොට  ඉදිකරන ලද මෙම ගොඩනැගිලි විනාශයට පත් වීම පිළිබඳව  ජනතා අප්‍රසාදය පළ කරන අතර,  මෙ සඳහා වගකිවයුතු   ආයතන වල  අවධානය යොමුකරන  ලෙස ජනතාව බලධාරීන්ගෙන්  ඉල්ලා සිටිති.

තරංග  ගුණරත්න ,වැලිගම

Leave a Comment

Your email address will not be published. Required fields are marked *