මොහොමඩ් ආසික්
සිරි දළදා දැක්ම 2025′ පිළිබඳ සාකච්ඡාවක් අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් දළදා මාලිගාවේ දී පැවැත්විණි.
සිරි දළදා දැක්මට අදාළව ජනමාධ්‍ය විසින් ඉටු කිරීමට නියමිත කාර්යයන් සම්බන්ධව මෙහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක්විය.
දළදා දැක්ම පැවැත්වෙන කාල වකවානුව තුළ සැදැහැති ජනතාවගේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව වැඩෙන ආකාරයෙන් මාධ්‍ය මෙහෙයවා ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධානයට යොමු විය.
මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශ කළේ දළදා වහන්සේ වන්දනා කරගැනීම සඳහා මහනුවර ට පැමිණීමට නොහැකි ජනතාවට ද ශ්‍රද්ධා පූර්වක හැඟීමෙන් යුතුව ‘සිරි දළදා දැක්ම 2025’ සමග සම්බන්ධ වීමේ අවස්ථාව උදා කළ යුතු බවයි.
මේ සඳහා එක්වන දේශීය විදේශීය සියළු මාධ්‍යවේදීන් නිසි ලියාපදිංචි කිරීමකින් යුතුව ඊට සහභාගී කරගැනීමට බලාපොරොත්තු වන බවත්, සිරි දළදා දැක්ම පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේ දී ජනමාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය පරිශීලකයින් ඉතාමත් වගකීම් සහගතව කටයුතු කළයුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර,ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු ආයතන ප්‍රධානීහු රැසක් සහභාගී වූහ.

