රංජන් මඩගම්මන-
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාගැනීමට පහසුකම් සැපයීම සොයාබැලීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවත් එම රැකියා අවස්ථා ලබාදීමට අවසන් එකඟතාවක් ලැබෙන්නේ නම්. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවත් වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා පැවසීය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ දකුණු කොරියාවේ E9 වීසා කාණ්ඩ යේ රැකියා අවස්ථා හිමි වූ තරුණ යින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට කාර්යංශයේ දී එක් වෙමිනි.තව දුරටත් අදහස් දැක් වූ සභාපති වරයා කියා සිටියේ,
“දකුණු කොරියාවේ රැකියාවලට අලුතින්ම එකතුවුණු වීසා කාණ්ඩය තමයි E-8 වීසා කාණ්ඩය. හැබැයි අපි හැමෝටම ඒ වීසා කාණ්ඩය විවෘත කරන්නේ නෑ. නිසි කෘෂිකාර්මික දැනුමක් තියෙන සුදුසුකම්ලත් පුද්ගලයින් විතරයි අපි රැකියාවට යොමුකරන්නේ. ඒකෙදි E-8 වීසා කාණ්ඩයට අයත් රැකියා සඳහා තරුණයින් තෝරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණයි. ඒකෙදි බාහිර පුද්ගලයින්ට හෝ වෙනත් විදේශ රැකියා ආයතනවලට මුදල් අයකරන්න කිසිම අවසරයක් ලබාදෙන්නේ නෑ. එම රැකියා සඳහා පුද්ගලයින් යොමුකරන්නෙත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණයි. ඒ නිසා අතරමැදියන්ට කිසිසේත්ම අහුවෙන්න එපා. කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා.
අපි බලාපොරොත්තු වෙනවා වෙනත් කොරියානු රැකියා වගේ අවම මුදලකින් රැකියාවට යොමුවෙන්න අවස්ථාව ලබාදෙන්න. පුද්ගලික කණ්ඩායම්වලට අවස්ථාව ලබාදුන්නොත් ඔවුන් විශාල වශයෙන් මුදල් අයකරනවා. පසුගිය කාලසීමාවේදී වුනු අකටයුතුකම් හා මුදල් එකතු කිරීම් නිසා අපිට මේක නතර කරන්න සිද්ධ වුණා. නමුත් නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් අපි එම රැකියා යළි සක්‍රිය කරන්න කටයුතු කරනවා. ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුළ ලංකාවේ තරුණයින්ට මෙම රැකියා අවස්ථා ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගිහින් මුදල් හම්බ කරන්නෙත් අපේ රටේ දරුවන්. තමන්ගේ පවුලේ ඥාතීන් එක්ක හොඳින් ජීවිතය ගතකරන්න තමයි ඔවුන් යන්නේ. ඒ නිසා ඒ ක්ෂේත්රය රැකගන්නත් අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා.”
ඉදිරියේදී මෙම රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමට අවශ්‍යකරන මාර්ගෝපදේශ සකස් කරන බවත්, ඒ අනුව ශ්‍රමිකයින් බඳවාගන්නා ක්‍රමවේදය හා අවශ්‍ය කරන මූලික සුදුසුකම් පිළිබඳව මාධ්‍ය ඔස්සේ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.


