තිරප්පනේ සත්ව අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයට කෝටි පහක ගොඩනැගිලි

(සමන් පෙරේරා)  

උතුරු මැද පළාත තුළ ඉහළ ආහාර සුරක්ෂිතතාවයක් ඇති කිරීමේ අරමුණින් ලෝක ආහාර සංවිධානයේ සහය ඇති තිරප්පනේ සත්ත්ව අභිජනන හා පුහුණු මධ්‍යස්ථානය සඳහා රුපියල් කෝටි පහකට අධික වියදමකින් සියලු පහසුකම් ගොඩනැගිලි විවෘත කිරීම හා උතුරු මැද පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට පවරා දීම ලෝක ආහාර වැඩපිළිවෙලෙහි ශ්‍රීලංකා නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය  දා  සිදු කෙරිණි.

එහිදී කුකුළු නිවාස තුනක් , උපකරණ හා සත්ත්ව ආහාර ගබඩා කිරීමේ ස්ථානයක් , බිත්තර රක්කවනාගාරයක් අලුතින් ඉදිකර ඇති අතර මව් කුකුළු පැටවුන්, අවශ්‍ය උපකරණ ආදිය සපයා ඇත.

එදින අලුතින් ඉදිකළ බිත්තර රක්කවනාගාරය වීවෘත කළ අතර ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් විසින් ගොවිපල නිරික්ෂණය කිරීම ද සිදු විය.

එහි පැවැති උත්සව සභාවේ දී ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අබ්දූල් රහීම් සිද්ධික් මහතා සඳහන් කළේ, ගොවිපළෙහි ඉදිරි කටයුතු සාර්ථකව පවත්වා ගැනීම සඳහා සහන සැලසීමට හැකිවීම පිළිබඳව අතිශය සතුටට පත්වන බවයි. 

මෙලෙස ලෝක අහාර වැඩසටහන මගින් මෙම ගොවිපළ දියුණු කිරීමේ මුලික අරමුණ වන්නේ , පළාත තුළ ඉහළ ආහාර සුරක්ෂිතතාවයක් ඇති කිරිමට සහය වීම යි. උසස් තත්ත්වයේ කිකිළි පැටවුන් බෝ කිරීම මගින් පාසල් දරුවන් වෙත පෝෂ්‍යදායී ආහාර වේලක් සැපයීමට බිත්තර ලබාදීම මෙහි දී  සිදුකිරීමට විශේෂ වැඩසටහනකි.

 ඒ අනුව උතුරු මැද පළාත තුළ ප්‍රතිලාභීන් 788 දෙනෙකු සඳහා කුකුළු පාලන ඒකක ලබාදීම ලෝක ආහාර වැසටහනින් සිදුකර ඇති අතර දැනට පැටවුන් 48,390 දෙනෙකු ප්‍රතිලාභීන් අතර බෙදා දී තිබේ. එමෙන්ම එම ඒකක සඳහා මාස හයක් වන තෙක් පැටවුන් සඳහා ආහාර මෙන්ම පශු වෛද්‍ය පහසුකම් ද සැපයේ. 

ලෝක ආහාර වැඩසටහනේ සහයත් සමඟ තිරප්පනේ , සත්ත්ව අභිජනන ගොවිපළ තුළින් වාර්ෂිකව විශාල ලාභයක් ලැබීමට මේ වන විට අවස්ථාව උදා වී තිබේ.

 2023 වර්ෂයේ මෙම ගොවිපළෙන් ලද ආදයම රුපියල් ලක්ෂ හැත්තෑ නමයක් පමණ වුවත් 2024 වර්ෂයේ දී එම ආදායම රුපියල් මිලියන 32ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගොවිපළ තුලින් බිත්තර සැපයීම හරහා මෙලෙස වැඩි ආදායමක් උපයාගෙන ඇත.

මෙම ගොවිපළ තුළ මේ වන විට කුකුළු අභිජනනය මෙන්ම,  එළු, මී ගව, ඌරු , එළ ගව ආදී සතුන්  ද බෝ කිරීමේ කටයුතු සුළු වශයෙන් සිදුවෙමින් පවතී. ඉදිරියේ දී මෙම ගොවිපල පළාතේ පුහුණු මධ්‍යස්ථානයක් , සත්ත්ව පාලනයට අවශ්‍ය සතුන් සපයන ස්ථානයක් හා තෘණ වගාවට අවශ්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීම උතුරු මැද පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි. 

කෙසේ වෙතත් මෙම ගොවිපළ පවත්වා ගැනීම සදහා වන ප්‍රමාණවත් නිලධාරීන් හා කම්කරු පිරිසක් නොසිටීම ප්‍රධාන ගැටළුවකි. කම්කරුවන් සදහා ගෙවීම් හා සියලු නඩත්තු කටයුතු ලබන ආදායම හරහා සිදුකිරිම  මේ වන විට පවතින තත්ත්වය යි. 

1999 වර්ෂයේ ආරම්භ කර ඇති මෙම තිරප්පනේ සත්ත්ව අභිජනන ගොවිපල අක්කර 45 ක භූමි වපසරියකින් යුක්ත වේ. එම නිසා මෙය තව තවත් වැඩිදියුණු කිරිමට අවශ්‍ය ඉඩකඩ පවතී. 

විවෘත කිරීමේ අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගාමිණි සේනාරත්න , උතුරු මැද පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජී.සී. මුතුවත්ත , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද , ලෝක අහාර වැඩසටහනේ ශ්‍රී ලංකා  නිත්‍ය නිත්‍ය නියෝජිත අබ්දූල් රහීම් සිද්ධික් ඇතුළු එහි නිලධාරින් , ලෝක ආහාර වැඩසටහනේ උතුරු මැද පලාත් නියෝජිත අසංක මනෝජ්, ගොවිපළෙහි නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *