යසංග මහවිතාන

පාරිභෝගිකයින්ට විදුලි සම්බන්ධතා ලබාදීමේදී අය කරනු ලබන තැන්පතු මුදල සඳහා වාර්ෂික පොලී ලබාදීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදුලි බලමණ්ඩලයට අද (28) නියෝග කළේය.
විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී එමෙම නියෝගය නිකුත් කරනු ලැබිණි. ඒ තුරෙයිරාජා ,සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතාය.ඒ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදුලි බල පනතේ 28(2) වගන්තිය යටතේ විදුලි සම්බන්ධතා ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් අය කරගන්නා තැන්පතු මුදල වෙනුවෙන් වාර්ෂිකව පොලියක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය බැඳි සිටින බව පෙන්වා දුන්නේය.
2024 ජනවාරි මස 30 වනදා අධිකරණය හමුවේ මෝසමක් ගොනු කළ ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ 2023 වසරේ ජනවාරි මස 01 වනදා සිට 2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති 11.67% ක වාර්ෂික පොලිය ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම සෙසු ගනුදෙනුකරුවන්ට ගෙවීමට තීරණය කර ඇති බවය.ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී තිබෙන බවත් විදුලි බල මණ්ඩලය විසින් එහිදී ප්‍රකාශ කරන ලදී .
මෙම මෝසම තුළින් එකඟ වී තිබෙන පරිදි කටයුතු කරමින් ගෘහස්ථ පාරිභෝගිකයන්ට මෙන්ම විශාල වශයෙන් විදුලිය භාවිත කරන පාර්ශවයන්ට මහ බැංකුව විසින් නිර්ණය කරනු ලබන පොලී අනුපාතිකයන් යටතේ වාර්ෂික පොලී ගෙවීමට කටයුතු කරන ලෙස අද මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මිනිසුරු මඩුල්ල විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියම කෙරිණි.
