හේවාහැට-චම්පික දසනායක
සියළුම ආකාරයේ මැතිවරණ ප්රචාරක කටයුතු ඊයේ (3දා ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබියදී එම තහනම නොතකා බොහෝ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මේ වනවිටත් සිය ප්රචාරක කටයුතු සිදුකරන ආකාරය දැක ගන්නට ලැබේ .
විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය හා නාගරික ප්රදේශවලද පසුගිය 3දා රාත්‍රී කාලයේ පෝස්ටර් ඇලවීම හා කටවුට් බැනර් ප්‍රදර්ශණය කිරීමේ කටයුතු සිදුව තිබෙන බවට එම දිස්ත්‍රික්කය පුරා විසිර සිටින ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇත
ජනාධිපතිවරණයට හා මහා මැතිවරණය පැවති කාල සීමාවට වඩා වැඩි පෝස්ටර් හා කටවුට් බැනර් ප්‍රදර්ශණය කිරීමක් මෙම මැතිවරණයේදී දක්නට ලැබෙන අතර කොට්ඨාශ ක්‍රමය යටතේ පක්ෂ හා කණ්ඩායම් කිහිපයකම අපේක්ෂකයන් තමන් තරඟ වදින කොට්ඨාශය තුළ තරඟකාරී ලෙස ප්රචාරක කටයුතු සිදුකිරීමට පෙළඹීම මෙලෙස පෝස්ටර් හා බැනර් ප්‍රමාණය වැඩි වීමට හේතුවක් වී ඇත
සමහර අපේක්ෂකයන් කිසිදු සොයා බැලීමකින් තොරව පොදු දේපල පවා විනාශ වන අකාරයට පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කර ඇති අතර එවැනි විනාශකාරී අන්දමට කටයුතු කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මෙන්ම අපේක්ෂකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු අංශවල අවධානය යොමුවිය යුතු බවද ජනතාව අවධාරණය කරති
මැතිවරණ කාල සීමාවේදී ප්රචාරක කටයුතු වලට පොලිතීන් හා දිරා නොයන සැරසිලි භාවිතා කිරීම අවම කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් අවධානය නොකිරීම හේතුවෙන් මැතිවරණය අවසානයේ එම අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම තුළින් දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවන බවද පරිසර හිතකාමීහු පෙන්වා දෙති
පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශණය කිරීමට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට මැතිවරණ බල ප්‍රදේශය තුළ සමහර අපේක්ෂකයන් කුඩා රැස්වීම් පවා සංවිධානය කර තිබූ බවට ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇත
මැතිවරණයක් පැවැත්වෙන කාල සීමාවේදී ඡන්ද දායකයන්ට බලපෑම් එල්ල වන කුමන හෝ කටයුත්තකට නීතියෙන් සීමාවන් හා තහනම් පනවා ඇති විටෙක එම නීතියට එකඟ වීමට දේශපාලන පක්ෂ කණ්ඩායම් හා පුද්ගලයන් කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බවද ජනතාව අවධාරණය කරති

