– කතෘ – චම්පිකා මුතුකුඩ –
ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ තෝරා ගත් ජාතික මාර්ගවල කිලෝමීටර් විසි හතක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී. එම හඳුනා ගත් මාර්ග වැඩිදියුණු කිරීම, සංවර්ධනය කිරීම, හා පුළුල් කිරීම එම ව්‍යාපෘතියේ අරමුණු වේ.එහි මුළු ඇස්තමේන්තු ගත පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 24.87 කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 3,232.5 ක් වේ.ඉන් මිලියන 2,209.84 කට සමාන ඩොලර් මිලියන 17 ක් ණය මුදලක් ලෙස ලබාදීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල එකඟ විය..ව්‍යාපෘතිය 2017 ඔක්තෝබර් 05 දින ආරම්භ කරන ලදී. 2019 ජූනි 28 දින වන විට එය අවසන් කිරීමට සැලසුම් කෙරිණි. එහෙත් එහි කටයුතු 2026 මැයි 10 දක්වා දීර්ඝ කිරීමට පසුව සිදුවිය. ව්‍යාපෘතියේ ණය ගිවිසුමට අනුව එවකට වරාය නාවික කටයුතු හා මහා මාර්ග අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ බලය පැවරුණේ මාර්ග සංවර්ධන අධිකාරියටයි.
ඩොලර් මිලියන 14ක ව්‍යාපෘතියේ ණය ගිවිසුම අත්සන් කරන ලද්දේ 2015 ජුනි 26 වන දිනය. ණය ආපසු ගෙවීම 2020 දී ආරම්භ කෙරිණි. එහෙත් 2023 දෙසැම්බර් 31 වන විට මුළු ණය පහසුකම් වලින් සියයට දහතුනක් ව්‍යාපෘතියට භාවිතා කර ගැනීමට නොහැකිව තිබුණි. එය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 2.28 කි.ඉඩම් අත්පත් කර ගැනීමේදී සිදුවූ ප්‍රමාදය මීට හේතු වූ බවත් , ඉතිරි ප්‍රතිපාදන ඔරුගොඩවත්ත – අඹතලේ පාරේ අංක 9/1 පාලම ප්‍රතිසංස්කරණයට යොදා ගැනීමට තීරණය වූ බවත් කළමනාකාරිත්වය පවසයි.
ව්‍යාපෘතියේ උපදේශන ගිවිසුම මිලියන 147.79 කට ආරම්භ කරන ලදී . ඒ 2018 මාර්තු 08 දිනය. එහි අවසන් දිනය 2019 ජූලි 28 විය. ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රමාද වීම හේතුවෙන් උපදේශන ගාස්තුව රුපියල් මිලියන 299.36 දක්වා සංශෝධනය කිරීමට සිදුවිය. දිනයද 2023 ජනවාරි 31 දක්වා වරින් වර වෙනස් කරන ලදී. මේ නිසා වැඩිපුර රුපියල් මිලියන 151.59 ගෙවීමට ව්‍යාපෘතියට සිදුවිය. එය මුළු පිරිවැයෙන් සියයට 102.57 ක් වේ. ව්‍යාපෘති පිරිවැය ඉක්මවා යාමට එය හේතුවක් විය. එහෙත් වැඩබිම අත්පත් කර ගැනීමේ ප්‍රමාදය මෙම කොන්ත්‍රාත්කරුගේ දුර්වල ක්‍රියාකාරීත්වයට හේතු වී ඇති බව කළමනාකාරීත්වයේ අදහසයි.
කඩුවෙල – අතුරුගිරිය මාර්ගයේ කිලෝ මීටර් 9.5 ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූයේ 2018 ජනවාරි 29 වන දිනය. එය 2019 ජූලි 25 වන දින නිමකිරීමට නියමිතව තිබුණි කොන්ත්‍රාත්කරුට දින 881 ක කාලය දීර්ඝ කිරීමක් පසුව ලබාදී ඇත. ඒ සඳහා රුපියල් මිලියන 31.1 ක් කොන්ත්‍රාත්කරු විසින් ඉල්ලා ඇති අතර ඔහුගේ දුර්වල ක්‍රියාකාරීත්වය නොසලකා හරිමින් එම මුදල අනුමත කරදී තිබේ.ඒ ඉඩම් අත්පත් කර ගැනීමේ මෙන්ම උපයෝගීතා මාරු වීමේ ප්‍රමාදයන් කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාදයට හේතු වූ බව ඉංජිනේරුවරයා විසින් තීරණය කිරීම නිසාය.
OFID – 3/1 පැකේජයට අදාල කොන්ත්‍රාත්කරුගේ අතුරු ගෙවීම් සහතික නිකුත් කිරීම් කර ගෙවීමට ඉදිරිපත් කළද ව්‍යාපෘතිය එම මුදල් පියවා තිබුණේ ප්‍රමාද වීමක් සහිතවය. ප්‍රමාද වූ කාලය සඳහා කොන්ත්‍රාත්කරු විසින් රුපියල් මිලියන 18ක පොලියක් ඉල්ලා තිබේ. ඒ කො න්ත්රාත්තුවේ සාමාන්‍ය කොන්දේසි 14:8 වගන්තියට අනුවය. මෙයද මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ පිරිවැය ඉක්මවා යාමට හේතු වී තිබේ.
කොන්ත්‍රාත්තුවේ පිරිවිතර වල 128 හා 129 උපවගන්තියට අනුව පවරා ගැනීමේ සහතිකය නිකුත් කරන දිනයේදී රසායනාගාර උපකරණ හා ගෘහ භාණ්ඩ ද, කොන්ත්‍රාත්තුව අවසානයේ මැනුම් උපකරණද කොන්ත්‍රාත්කරුට ආපසු ලබා දිය යුතුය. එහෙත් මෙම ව්‍යාපෘතිය අවසානයේ සිදුකර ඇත්තේ කොන්ත්‍රාත්කරුට තවත් රුපියල් මිලියන 185 මුදලක් ගෙවීමයි.
කොන්ත්‍රාත්තුවේ සාමාන්‍ය කොන්දේසි වල අංක 42 වගන්තිය අනුව (FIDIC – 1999) කොන්ත්‍රාත්කරු තමාගේම වියදමින් කාර්ය සාධන ආරක්ෂාව ලබා ගත යුතුවේ .එහෙත් කාර්ය සාධන ආරක්ෂණ පිරිවැය සඳහා ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 11.79 ක මුදලක් ගෙවා තිබුණි. එපමණක් නොව BOQ මුදල වූ රුපියල් මිලියන 5.67 ඉක්මවා රුපියල් මිලියන 6.13 ක මුදලක් කොන්ත්‍රාත්කරු වෙත ගෙවා ඇත.
වැඩබිම අත්පත් කර ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් RDA/MF AP/ICB/OFID -03/02 පැකේජය සඳහා තාක්ෂණික ඇගයීමේ කමිටුව විසින් දින 431 ක කාලය දීර්ඝ කිරීමක් ලබා දී තිබේ. එම හේතුවෙන් රුපියල් මිලියන 268 ක මුදලක් දීර්ඝ කිරීම හා මූලික පොදු පිරිවැය වශයෙන් ගෙවීමට ව්‍යාපෘතියට සිදුවිය.
B 174 කඩුවෙල අතුරුගිරිය මාර්ගයේ 0+000 සිට 9+000 දක්වා කොටස 2023 මාර්තු 13 දින සේවායෝජකයා විසින් පවරාගෙන ඇත. ඉන් 9+000 සිට 9+500 දක්වා මීටර් පන්සියයක් වූ කොටස අතහැර දමා තිබේ. වෙලේ හන්දිය හා අතුරුගිරිය හන්දිය ද ව්‍යාපෘතිය මගින් අවසන් කර නොමැත. අතුරුගිරිය හන්දිය වැඩි දියුණු කිරීමට 1992 දී ලබාගත් ඉඩමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ 2023 දක්වාම වසර තිස් එකක් ගත ගතවීත් වන්දි ගෙවා නොතිබුනෙන් ඉඩම් හිමියෝ මාර්ගය සංවර්ධනය කිරීම සඳහා සිය ඉඩම් ලබා ගැනීම ගැනීමට විරෝධය පළකළහ.
නැවත ස්ථානගත කිරීම් කටයුතු සම්බන්ධීකරණය සඳහා කොන්ත්‍රාත්කරු වගකිවයුතුවේ. එසේ වුවද ලංකා විදුලි බල මණ්ඩලයේ හා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ උපයෝගීතා නැවත ස්ථානගත කිරීම් වල ප්‍රමාදයන් සිදුවිය. කඩුවෙල අතුරුගිරිය පාරේ විදුලි කණු නැවත සිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලයට BOQ මුදල වන රුපියල් මිලියන 46ට වඩා රුපියල් මිලියන 106 ක් ව්‍යාපෘතිය විසින් ගෙවා තිබේ.
මෙසේ තිබියදී 2023 දෙසැම්බර් 31 දිනට වසර හතරක් ඉක්මවා යන රුපියල් මිලියන 16.96 ක හිඟ ශේෂ දෙකක් අය කර ගැනීමට ව්‍යාපෘතිය විසින් කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත. ඒ වෙළඳ දැන්වීම්, මැනුම් කටයුතු, නායයාම් අධ්‍යයනය, පදික වේදිකාව සැලසුම් කිරීම හා පාරිසරික උපදේශන වියදම් සඳහා ලැබිය යුතු මුදල්ය.
කුමන හෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර අදාළ ඉඩම් පවරාගෙන අවසන් කළ යුතු බව කුඩා දරුවෙකු වුවත් දන්නා කරුණකි. කරුණු විමසා බලන කල මෙම මූලික පියවර අනුගමනය නොකිරීම හා නිසි කළමනාකාරීත්වයක් නොතිබීම නිසා තවත් කිලෝමීටර් විස්සකට ආසන්න මාර්ගයක් ඉදිකිරීමට ප්‍රමාණවත් මුදලක් විනාශ කර තිබේ. සීමාවක් නොමැති මුදල් නාස්ති මැද බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය නිමාවට ලඟා වෙමින් පවතී. රටේ දරුවන්ගේ අනාගතය උකසට තබා ලබා ගන්නා ණය මුදල් මුදල්වලින් අඩකටත් වඩා අනවශ්‍ය ලෙස වියදම් කරමින් විනාශ කරන විට රටකට කිනම් ලෙසකින් දියුණුවක් අපේක්ෂා කළ හැකිද?


