ඩෙංගු හා චිකන් ගුණ්යා ව්‍යාප්තිය වැඩිම ප්‍රදේශ හඳුනා ගැනේ.

යසාංග මහවිතාන

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගී තත්ත්වයන්  පැතිර යාම වැඩි වශයෙන්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ මෙම රෝගය වැඩි වශයෙන් වාර්තා වන බවයි.

මෙම රෝග දෙකෙහිම මූලික ලක්ෂණ සමාන වන අතර එහිදී උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ වමනය ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් අදාළ රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන ලෙසත්  ලියනපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වේදනාව අවම  කර ගැනීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිතා කරන ලෙසත්,වෙනත් වේදනානාශක භාවිතා නොකරන ලෙසත්, එසේ වෙනත් ඖෂධ ලබා ගැනීමෙන් ඇතිවන ප්‍රතිඵල ඉතා දරුණු විය හැකි බවත් වෛද්‍යවරයා විශේෂයෙන් අවධාරණය කරයි.

එමෙන්ම ජලය, පළතුරු යුෂ, කැඳ, ජීවනි, වැනි ලවණ සහිත ද්‍රාවණ  පානය කිරීමෙන් ඇතිවන විජලන තත්ත්වයන් වැළැක්වීමද ඉතා වැදගත් වනු ඇති බවත් විශේෂඥ වෛද්‍ය  අතුල ලියන පතිරණ මහතා ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *