ඩෙංගු ව්‍යාප්තිය මඩින්න තෙදින වැඩසටහනක්

ලක්මිණි නදීෂා – කොළඹ 

මාර්තු මස 27, 28 සහ 29 දිනයන්හි දී   රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37 ක පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි දී අවදානම් කොට්ඨාස වල පවතින නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ වෙනත් පරීශ්‍ර, ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් නිරීක්ෂණ කටයුතු සිදු කරයි.

මෙම ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම් වලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්ගෙන් සැදුම්ලත් ඒවා වේ. එම පිරිස් අදාළ ප්‍රදේශයන් හි නිවාස, පරීශ්‍රවල මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කිරීමට නියමිත ය.

ඕනෑම පරිසරයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම්ක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30 ක් මේ පිළිබඳව සොයා බැලීම සිදු කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තවද, යම් අයෙකුට තද උණ සමඟ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතුපැහැ ලප හටගැනීම හා රුධිරවහන තත්ත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබාගන්නා මෙන් ද ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කර සිටී.

ඊට අමතරව උණ පාලනය කරගැනීම සඳහා පැරසිටමොල් ඖෂධය පමණක් ලබාගන්නා ලෙසත් NSAID කාණ්ඩයේ ඖෂධ (ඇස්ප්‍රීන්, මෙෆෙනමික් ඇසිඩ්, ඉබියුප්‍රොෆෙන්, ඩයික්ලොෆෙනැක්) හා Steroids කාණ්ඩයේ ඖෂධ (ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසෝන්) භාවිතයෙන් වළකින ලෙසත් ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *