ඩිජිටල් උප්පැන්න රත්නපුරයටත්

 

අජිත්ලාල් ශාන්තඋදය

ඩිජිටල් ශ්‍රීලංකා වැඩසටහන යටතේ ලංකාවේ කුමන දිස්ත්‍රික්කයක හෝ ලියා පදිංචිකර ඇති උප්පැන්න සහතික ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත හැකි ඊ-උප්පැන සේවාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරමින් පවතී.

ඊට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතිය පසුගිය 24දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී  හදුන්වා දෙනු ලැබීය. රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමෙන්තුව මෙම ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ 2021 ජනවාරි 01දින සහ 2025 පෙබරවාරි 26දින අතර ඉපදුන කෙනෙකුට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහ අටෙන් ඕනෑම එකකදී මෙම ඩිජිටල් උප්පැන්න සහතිකය ලබාගත හැකියි. සෙසු වයස් කාණ්ඩවල උප්පැන්න සහතික ඩිජිටල් ක්‍රමයට නිකුත් කිරිම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරිමට නියමිත බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

ආරක්ෂිත කඩදාසියක මුද්‍රණය වන මෙම ඩිජිටල් උප්පැන්න සහතිකය ව්‍යාජ ලෙස සැකසීම අපහසු බව රෙජිස්ටාර් පොර්තමේන්තුව පැවසුවේය. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම අවශ්‍යනම් ඩිජිටල් උප්පැන්න සහතික ලබාගත හැකිය. පරිවර්ථන ගාසතුවක් අය නොකෙරේ. පළමු පිටපත නොමිලේ නිකුත් කරනු ලබයි.

සංකේතාත්මකව රත්නපුර දිස්ත්‍රික්කයේ දරු දැරියන් හතළිස් දෙනෙකුට ඩිජිටල් උප්පැන්න සහතික මෙදින නිකුත් කරනු ලැබීය. උප්පැන්න සහතිකවල යම් සංශෝධන එක්කළ විට ඒවා ඊට ඇතුලත් කෙරේ. පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාතයාංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව මෙම ඩිජිටල් ව්‍යාපෘතිය මගින් ඉඩ සැලසේ.

ඌව – සබරගමුව නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නිශ්ශංක විජේසිරි, රත්නපුර සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් නිල්මිණි යූ නවරත්න, සහකාර රේජිස්ට්‍රාර් ජනරාල් වරුන් වන එම්.ඒ.ජී. සෙව්වන්දි, ධම්මිකා රණසිංහ, රත්නපුර ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ධම්මිකා ලියනාරච්චි යන මහත්ම මහත්මීන් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට පැමිණ සිටියේය. රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා ඩී. ඉලුක්කුඹුර යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *