ටියුෂන් ගුරුවරියක් පොලිස් ආරක්ෂාව සහිතව ගමන් කරන වීඩියෝව පිළිබඳ විමර්ශනයක්

චම්පිකා මුතුකුඩ

 සමාජ මාධ්‍ය ජාලා වල මේ දිනවල සංසරණය වන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් ආරක්ෂාව සමග ගමන් කිරීමේ ආන්දෝලනාත්මක  වීඩියෝව පිළිබඳව  විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ අදාල ගුරුවරිය විසින් සිසුන් අටදාහක් සහ දෙමව්පියන් තිස්පන්දහසක් පමණ සහභාගීත්වයෙන්  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන උත්සවයකට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ආරක්‍ෂාව ඉල්ලා ඇති බවයි.

එසේ පොදු කටයුතු සඳහා  මුදල් ගෙවා ඔලිස් සේවා ලබාගැනීමේ ක්‍රමවේදයක් පවතින බවත් එම ක්‍රමවේදය යටතේ මෙම උත්සවයට ආරක්‍ෂාව ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් නැති බවත් ඒ මහතා සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් පොදු කටයුතු සඳහා යම් මුදල් ගෙවීමක් මත පොලිස් වාහන පොලිස් නිලධාරීන් ලබාදීම සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

කිසියම් අයෙකුට සිනමා නිර්මාණයක් සඳහා පොලිස් නිල රථ හෝ නිලධාරීන් ලබා ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු බව බුද්ධික මනතුංග මහතා පවසයි.

එහෙත් ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බවට අනාවරණය වී ඇති බවත්, එවැනි පුද්ගලික කරුණක් සඳහා පොලිස් ආරක්‍ෂාව භාවිතා කර නොහැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

සංගීත සංදර්ශනයක් හෝ උත්සවයක් හෝ එවැනි ක්‍රියාවලියක් සඳහාද සම්පූර්ණ අධ්‍යනයකින් පසු, මුදල් ගෙවීමකින් ශ්‍රී ලංකා පොලිසියට අයත් රථ වාහන ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවතී.

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ටියුෂන් පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති මෙම ගුරුවරියට පොලිස් පරිවාරක රථ ලබාදීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *