(යසංග මහවිතාන)

යුද සමයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රාජ්‍ය විසින් ජන සංහාරයක් සිදුවූ බවට සංකේතවත් කරමින් හා එහි වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය සංකේතවත් කෙරෙන ස්මාරකරක් පසුගිය 10 දින කැනඩාවේදී විවෘත විය.ඒ එරට ප්‍රධාන උද්‍යානයක් වූ චින්ග්කෝසි උද්‍යානයේය.එම ස්මාරකය ඉදි කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්රික් බ්‍රවුන් විසින් ඇගයීමට ලක්කර තිබේ .
ජන සංහාරක ස්මාරකය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් නගරාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදුවූ බව ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් කැනඩාව තුළ නොසළකා හරින බවයි.
“…ජන සංහාරය ප්‍රතික්ෂේප කරන්නනි, කිසිදු ලෙසකින් ඔබව බ්රැම්ප්ටන්හිදී පිළිගන්නේ නැහැ. කැනඩාවට ඔබව පිළිගන්නේ නැහැ ආපසු කොළඹට යන්න….”විවෘත කිරීමේ උත්සවයේදී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.
2009 වර්ෂයේදී දෙමළ සරණාගතයෙක් ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් මරා දමන ආකාරය තමාට විස්තර කළ බව නගරාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
එතැන් පටන් මෙම ජන සංහාරක ස්මාරකය ඔහුගේ පෞද්ගලික අරමුණක් වූ බවද පැට්රික් බ්‍රවුන් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජාතිකයින් ප්‍රචණ්ඩත්වයට හා සංස්කෘතිය තුරන් කිරීමකට ලක්වූ බවට ඔහු චෝදනා කරයි.
ස්මාරක සැලසුම හෙළි වූ දින පටන් බ්‍රැම්ප්ටන් ශ්‍රී ලංකා රජයේ නිලධාරින්ගේ සහ විරෝධතා කරුවන්ගේ විරෝධයට මුහුණ දුන් බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.විදේශීය ඇඟිලි ගැසීම් තිබුණද ඉතිහාසය නොසලකා හැරීමට හෝ අමතක කිරීමට නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.
“ශ්‍රී ලංකා රජය නිකුත් කර තිබෙන්නේ වැරදි තොරතුරු. ඔවුන් සත්‍යය වෙනුවෙන් කතාකරන දෙමළ ජනයාට අපහාස කිරීමට සහ පහරදීමට උත්සාහ කර තිබෙනවා. නමුත් අපි සත්‍යය දන්නවා, එහි ප්‍රතිඵලය තමයි අද අපි දකින මේ ස්මාරකය.” පැට්රික් බ්‍රවුන් නගරාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
